Thursday 24 September 2015

වෙඩි හඬ - 1





"දිවාකර, පොලිසිය කියන විදිහටනම් මේක දිවි නසා ගැනීමක්. හැබැයි මේ මැරිලා ඉන්නේ ඇමරිකන්කාරයෙක්. ඇත්තම කිව්වොත් ඇමරිකන් ආණ්ඩුව සහ අපේ ආණ්ඩුව එකතුවෙලා කරපු පරීක්ෂණයක් මෙහෙයවපු මහ මොළකාරයන් දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ....."

"අනිත් කෙනා අපේ කෙනෙක්. මට තියන බලතල අනුව අපේ රටේ කෙනාගේ නමත් මේ පරීක්ශනේ ගැනත් හෙළිකරන්න බැහැ, එයාගේ සහ රටේ ආරක්ෂාවට. මේ මැරුණ කෙනා දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ කියලා එයා තමයි මට දැනුම් දුන්නේ...ඊට පස්සේ තමයි නිලධාරියෙක් යවලා විස්තර දැනගත්තේ."

"මේ දෙන්නා කරපු පරීක්ෂණය ගැන අපේ රට පැත්තෙන් දැනගෙන හිටියේ මමත් ජනාධිපති තුමත් විතරයි, මේක එතරම් රහස්‍ය පරීක්ෂණයක්. ජනාධිපති තුමාගේ අවසරය ලැබුනොත් මට පුළුවනි තව විස්තර හෙළිකරන්න."

"ඉතින් මේකට විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ඉල්ලුවා...... හරියටම උනේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ.... අවශ්‍ය හැම තැනකටම මම ඉන්ෆොර්ම් කරලා තියෙන්නේ ඔයා මේ කෙස් එක බලනවා කියලා...... මොනවහරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරන්න. අවශ්‍ය ඩීටේල්ස් මම දැන් ඊ -මේල් කරනවා.....දැනටමත් ඉන්ස්පෙක්ටර් ජයසුරිය එක්ක ස්පෙෂල් යුනිට් එකක් එතන ඉන්නවා......."

"ආ.....මතක තියාගන්න...... දිස් ඊස් ටොප් සීක්රට් ඇන්ඩ් හැස් ටොප් ප්‍රයෝරිටි ඕකේ........."

"ඕකේ සර්......මම දැන්ම පිටත් වෙනවා....."

******

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශකයෙක් මෙන්ම ශ්‍රී ලංකා රහස් පොලිසියට අනුයුක්ත විශේෂ අපරාධ විමර්ෂණ ආයතනයෙහි (SCID) ප්‍රධාන නිලයෙක් වන දිවාකර දිසානායක යනු 70 ව දශකයේ නමගිය රහස් පරීක්ෂකයෙක් වූ ඇලන් දිසානායකගේ එකම දරුවාය. 
විදේශ උසස් අධ්‍යාපනයෙන් පසු වසර කිහිපයක් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව
සේවය කල ඔහුට සිය මව් බිමට සේවය කිරීමට ඇරැයුම් ලැබුනේ ආරක්ෂක ලේකම් වරයාගේ මැදිහත් වීමෙනි. සිය සුවපහසු රැකියාව හැර දමා උදක්ම සිය මව්බිමට ඔහු පැමිණියේ දැනට විශ්‍රාමිකව සිටින සිය පියාගේ බලවත් ඉල්ලීම නිසාවෙනි.

වසරකට පෙර තරුණ දිවාකරයන් හා ඔහුගේ පියා අතර ඇතිවූයේ මෙවන් දුරකථන සංවාදයකි,

"පුතා..... ඔයාට ටික කාලෙකින් ඕනෙම රටක පහසුවෙන් රැකියාවක් හොයා ගන්න පුළුවන්, හැබැයි මම කැමතියි අවුරුදු කීපයක් අපේ රටට සේවයක් කරනවා නම්. ආරක්ෂක ලේකම් තුමත් මගෙන් කීප සැරයක් ඔයා ගැන ඇහුවා.......බැරිද ඇහුවා ඔයාව මෙහෙට ගෙන්නන්න. එතුමාගේ හොඳ දැක්මක් තියන බව පෙනෙනවා....මෙහෙ ආවොත් ඔයාට හොඳ තැනක් ලෑස්ති කරලා දෙන්නම් කීවා."

රැකියා මාරුව තමන් කල මෝඩ වැඩක් ලෙස දිවාකර මුලින් සිතුවත් කල් යනවිට ඔහුට ලැබුණු ඉතා අසීරු පරීක්ෂණත් ඒවායේ ඇති විවිධත්වයත් නිසා දැන් තමන් ඇමරිකාවට වඩා සිය මව් රටේ සේවය කිරීමට වඩා කැමති බව ඔහුට දැනේ. සිය මෙහෙයැවීම නිසා වලක්වාගත් ප්‍රභූ ඝාතන උත්සාහ කිහිපයකුත්, තවත් දරුණු ත්‍රස්ත ප්‍රහාර කිහිපයකුත් නිසා රටේ මුල් පුරවැසියාගෙන් ඔහුට ලැබුණු ප්‍රසංශා ඔහුට ගෙන එන්නේ මහත් අභිමානයකි.

******

ආරක්ෂක ලේකම් වරයාගෙන් ලත් තොරතුරු අනුව අදාල මරණය සිදුවූ ස්ථානය ඇත්තේ අගනුවර සිට කිලෝමීටර් පනහක් පමණ දුරින් පිහිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නොවූ ප්‍රදේශයකය. පැයක පමණ ගමනකින් පසු එහි ලඟා වීමට දිවාකරට හැකිවිය. ගම්පහ නගරය පසුකර කිලෝමීටර් පහලවක් පමණ ගිය තැන, පසුපසින් ඇති කුඩා විල්ලුවකට මායිම් ව පිහිටා ඇති ඉඩම මැද මධ්‍යම ප්‍රමාණයේ නිවස ගොඩනංවා තිබිණි.

"ආ.... දිවාකර මහත්මයා, අපිට ඉහලින් පණිවිඩය ලැබුණා ඔබතුමා එන බවට. මේ කේස් එක කොළඹින් හැන්ඩ්ල් කරන්නේ ලේකම් තුමාගේ විශේෂ ඉල්ලීමකට. අපි යමු ඇතුලට. දැනටමත් අපේ කට්ටිය ඇතුලේ පරීක්ෂණ කරනවා........ මෙහෙන් එන්න."  ඔහු පිළිගත් පොලිස් පරීක්ෂක ජයසුරිය, තරමක් දිගු කොරිඩෝවක් දිගේ ගොස් විශාල කාර්යාල කාමරයකට කැඳවා ගෙන යන ලදී.

"ජයසුරිය කිසිම පිට කෙනෙක් වත්ත ඇතුලට ගන්න එපා......වාහනයක් වත්."  

"ඕකේ සර්, අපිත් වාහන පාරේ නවත්තලා ආවේ...."

"ඔව් ඒක හොඳයි අපිට හැම තැනම කිසිම වෙනසක් නොවී පරික්ෂා කරගන්න ලැබුනොත් වැඩේ ලේසියි."

මින් පෙර දිවාකරයන් සමග අපරාධ පරීක්ෂණ කිහිපයක යෙදී ඇති පොලිස් පරීක්ෂක ජයසුරිය, ඔහු දැකීමෙන්ම මෙය කිසියම් විශේෂිත පරීක්ෂණයක් විය යුතු බව වටහා ගත්තේය. ආරක්ෂක ලේකම් තුමා පවුද්ගලිකව මෙය සොයා බලන්නේත්, දිවාකරයන් මෙයට අනුයුක්තව ඇත්තේත් එනිසා විය යුතුය.

"මිනිහ ක්‍රිකට් කාරයෙක් වගේ නේද?" දිවාකරගේ එම ප්‍රශ්නය මතුවුයේ නිවාසට ඇතුළුවන තැනම බිම දමා තිබූ ක්‍රිකට් ආම්පන්න දැකීමෙන් වියයුතු බව ඉන්ස්පෙක්ටර් ජයසුරියට සිතිනි.

"ඔව් මේ මැරිලා ඉන්නේ ඇන්ඩ්රු ෆිලිප්ස් කියලා කෙනෙක්. සති අන්ත වල කොළඹ ක්ලබ් එකක සෙල්ලම් කරනවලු"

"පුදුමයි ක්‍රිකට් ගහන ඇමරිකන් කාරයෙක් !!"

විශාල කාර්යාල කාමරයේ කොනකට වන්නට ඇති කාර්යාල මේසය අසල පුටුවෙහි පසෙකට ඇලවුණු මළ සිරුර තවමත් දක්නට ඇත. ඔහු සාමාන්‍ය ඇමරිකානුවෙකුට වඩා තරමක කුඩා ශරීරයක් ඇති මැදිවියේ පුද්ගලයෙකි. රාත්‍රී නිදන ඇඳුමින් සිටින ඔහුගේ හිසෙහි  දකුණු කනට අඟල් දෙකක් පමණ ඉහලින් ඇතුළුවූ වෙඩි උණ්ඩය වම් කනට පහලින් පිටවී ඇත. ඔහුගේ අතින් ගිලිහී වැටුණු බව පෙනෙන පිස්තෝලය ඔහුගේ දකුණු අත අසල බිම දක්නට ලැබිණි. එම නිවසෙහි ඔහු තනිව ජීවත් වූ බව හා වැඩිපුර කිසිවෙක් නිවසට ආ ගිය බවක් දක්නට නැතිබව දැනගන්නට ලැබිණි. පොලිස් ජායාරූප ශිල්පියාට යම් සලකුණු පෙන්වමින් ඒවායේ ජායාරුප ගන්නා ලෙස සන් කල දිවාකර, තම කලිසම් සාක්කුවෙන් ඇදගත් නෝට් පොතෙහි කිසියම් සටහන් යොදමින් අවට පරික්ෂාවේ යෙදිනි.

"අපි හැම දෙයක් ම වගේ චෙක් කලා. සැක කරන්න කිසිදෙයක් නැහැ. පෙනෙන්නේ මේක දිවි නසා ගැනීමක් වගේ." ඉන්ස්පෙක්ටර් වරයා කීය.

"ජයසුරිය, පිස්තෝලේ ෆින්ගර් ප්‍රින්ට් චෙක් කලාද?"

"ඔව්, මේක මිස්ටර් ඇන්ඩ්රුගේ පිස්තෝලෙ, ලාච්චුවේ තිබුණා ලියකියවිලි. ෆින්ගර් ප්‍රින්ට් හරියටම මැච් වෙනවා....."

රබර් අත්වැසුම් දෙකක් ඉල්ලා එය පැළඳගත් දිවාකර, ප්‍රමාණයෙන් කුඩා පිස්තෝලය අතට ගෙන එය පරික්ෂාවට ලක් කලේය. "ආ... මේක M1911 කියලා වර්ගයක්. මේ බ්‍රෑන්ඩ් එක ඇමෙරිකාවේ හදන්නේ.........ඇමරිකන් මිලිටරි වලත් පාවිච්චි කරන දියුණු කරපු එකක්. සැහැල්ලුයි, කුඩයි, ගොඩක් පවර්ෆුල්"

පිස්තෝලයේ මැගසීනය ඉවත්කළ ඔහු, එහි ඇති උණ්ඩ සියල්ල මේසය මතට හෙළුවේය.

"සැක කටයුතු මොනවා හරි දැක්ක හරි වෙඩි සද්දේ ඇහුනු හරි මිනිස්සු ඉන්නවද ජයසුරිය?"

"මම සාජන් කෙනෙක් යවලා හැම තැනම බැලෙව්වා සර්..... කිට්ටුව පාත ගෙවල් නැති නිසා කාටවත් ඇහිලා නැහැ..... හැබැයි පිටිපස්සේ තියන විල්ලුවේ මාළු අල්ල අල්ල හිටිය මනුස්සයෙක් කියනවා ඒ මිනිහට වෙඩි සද්ද දෙකක් අහුනලු. ගමේ මිනිස්සු කියන්නේ ඒ මිනිහා ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්න ටිකක් ඔලුව හොඳ මදි මිනිහෙක් ලු. කියන දේවල් විස්වාස කරන්න අමාරුයි ලු"

"මොනවා වෙඩි සද්ද දෙකක් !! මැගසීන් එකේ අඩුවෙලා තිබ්බේ එක උණ්ඩයයි නේ............ඒ මනුස්සයා ගෙන්නන්න මට කතා කරන්න ඕනෑ........."

"උන්ඩේ ගිහින් තියෙන්නේ ඔලුවේ දකුණු පැත්තෙන්, හැබැයි මිනිහා වමත් කාරයෙක් !!......... "

දිවාකරගේ මුවින් පිටවුනු එම වදන් ඇසීමෙන් පොලිස් පරීක්ෂක වරයා මඳක් පසුබා ගිය බව පෙනිණි.

"ජයසුරිය දැක්කද අර දොර ළඟ තිබ්බ ක්‍රිකට් ග්ලව් දෙක?..... ඒකෙ හැටියට මිනිහා වමත් කාරයෙක්"

"ඒත් වමට සෙල්ලම් කරන දකුණත් කාරයෝ කොච්චර ඉන්නවද?" ජයසුරිය එසේ කීවේ දිවාකරගේ අදහස එක එල්ලේ පිළිගැනීමට තමන් සූදානම් නැති බව පෙන්වමිනි.

කාර්යාල මේසය දෙසට අත දිගු කල දිවාකර, "මේ මේසේ උඩ තියන දේවල් කව්රුත් එහා මෙහා කරන්න නැති ව ඇති නේද?'

"නැහැ, හැමදේම තියෙන්නේ තිබුන විදිහටමයි...."

මේසය මත වූ කෝප්පය දෙසට නැවී එය අතින් නොඅල්ලා එහි තුල වූ දෙය ආග්‍රහණය කල ඔහු,

"හොඳයි එහෙනම් මේ බාගෙට බීපු කෝපි එක ලැප්ටොප් එකේ වම් පැත්තේ තියෙන්නේ ඇයි? එතකොට අර බිත්තිය ළඟ තියන අයන් ටේබල් එක උඩ තියන අයන් එක වම් පැත්තේ තියෙන්නේ ඇයි....... තව ඕනේ තරම් දේවල් කියන්න පුළුවන් මිනිහා වමත් කාරයෙක් කියලා කියන්න"

"එතකොට සර් කියන්නේ මේක මිනිමැරුමක් කියලද?" පරාජය බාරගත් හඬකින් ජයසුරිය එය ඇසුවත් ඔහුට පිළිතුරු නොදුන් දිවාකර දිගටම පරික්ෂාවේ යෙදිනි.

ලොකු පත්තර පිටුවක් සොයාගත් දිවාකර මේසය අසල තිබු කුණු කූඩය එයට හලා එය අසල දන ගසාගෙන පැන්සලකින් එහි ඇති දෑ එහෙ මෙහෙ කරමින් පරික්ෂාවේ යෙදුනි. එහි ඇති සමහර දේ සීරුවෙන් ගෙන කුඩා බෑගයක දමා ගත් අතර එවැනිම පරීක්ෂාවක් මේසය මත ඇති දේ පිළිබඳවද ඔහු සිදු කරනු දක්නට ලැබිණි.

"කුමාර් ෆොටෝ අරන් ඉවරද? මට මේ තුවාලේ හොඳ ක්ලෝසප් ඕනේ....ඔලුව දෙපැත්තෙම" ඔහුගේ ඉල්ලීමට අනුව සියල්ල ජායාරූප ගතකරනු දක්නට ලැබිණි.

"ජයසුරිය මෙහෙ එන්න, පේනවද මේ පොඩි නෝට් පොත? මුකුත් ලියලනම් නැහැ හැබැයි කොලයක් කඩපු බවක් පෙනෙනවා...... කඩපු කොලේ විසිකරලත් නැහැ, හොයාගන්නත් නැහැ. අපි බලමු........."

ඒ වනවිටත් කාමරයේ පරික්ෂාවේ යෙදී සිටි අයෙකුගෙන් මිනිරන් කුඩු ස්වල්පයක් ඉල්ලාගත් දිවාකර එය සෙමින් නෝට් පොතේ මුල් පිටුව මත විසිරුවා හැරියේය. කඩන ලද පෙර පිටුවෙහි ලියන ලද ඉලක්කම් පහක චායාව පැහැදිලිව දක්නට ලැබිණි.

"ජයසුරිය මොකක්ද මේ ගැන හිතෙන්නේ" ඔහු එසේ ඇසුවේ අදාල නෝට් පොත පරීක්ෂකවරයා දෙසට හරවමිනි.

"8 0 4 3 5 .........ම්.........ටෙලිෆෝන් අංකයක් වෙන්නත් බෑ..... වාහන අංකයක් වෙන්නත් බෑ.....මොකක් හරි රහස් කෝඩ් එකක් ද? පාස්වර්ඩ් එකක් ද?, මට හිතාගන්න බෑ...."

"මම මිස්ටර් ඇන්ඩ්රු ගේ පොත් පත් කීපයක් බැලුවා..... පෙනෙන විදිහටනම් එයාගේ අත් අකුරු නෙවෙයි වගේ......... ඔය නොම්මරේ ගැන අපි පස්සේ හොයමු..... මගෙන් ඇහුවනේ මේක මිනිමරුමක්ද කියලා......... ඔව් මේක මිනීමැරුමක්, ඒ වගේම ඊයේ රෑ තව කෙනෙක් මේ ගෙදර ඉඳලා තියනවා...... ගෑනු කෙනෙක්, එයා වෙන්නත් පුළුවන් මිනී මරුවා........... "

"මොනවා? ගෑණු කෙනෙක් !! "


මතු සම්බන්ධයි


39 comments :

  1. ඉතාමත් ආකර්ශනීයයි.. ආතර් කොනන්ඩෝයිල්ගේ පොතක් කියවන්න ගත්ත වගේ.. දෙවැනි කොටසත් ඉක්මනින්ම ලැබෙයි නේද..

    ReplyDelete
  2. එල බණ්ඩෝ එල....
    මං කලිනුත් කිවුවා වගේ එක චරිතයක්ම තියාගන්න හැම කතාවටම. ලංකාවට ගැලපෙන විදිහට ලියන එක තමයි මේ කතා වල ලස්සන වැඩි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා ප්‍රතිචාර අනුව බලමු.......

      Delete
  3. මමත් අපේ කැමාගේ අදහස අනුමත කරනවා , එක චරිතයක් වටා කතාව ගොඩ නගන්න පුළුවන් නම් මේක විශිෂ්ට සීරීස් එකක් දක්වා විකාෂණය කරන්න ඔබට හැකියාව ලැබෙයි. බලමු ඊළඟ කොටස

    ReplyDelete
    Replies
    1. අනිත් කොටස හෙට හෝ අනිද්දා දැන්නම්

      Delete
  4. සුපිරි මචෝ. මේ විදියට රහස්පරික්ෂක කතා නිර්මාණය කළා ඩීමන් ආනන්ද? ඒවා අතිශය ජනප්‍රිය වුණා. මට මතක ඔහු මැව්වේ ඉන්ස්පෙක්ටර් ඩිකි විරකෝන් වගේ. ඉන්පසුව මා සිත් ගත් ලෙසට රහස්පරික්සක කතා නිර්මාණය කළේ උබේසේකර හෙන්නායක. ඒ තරුණයා පත්තරයට. ඔහු නිර්මානය කළේ ඉන්ස්පෙක්ටර් කුගන්. ඒ කතා මාලාවත් මං ඉතාම ආසාවෙන් කියෙව්වා. එවකට මාත් තරුණයා පත්තරේමයි සේවය කළේ. ඉන්පසුව හමුවුණු සාර්ථක රහස් පරික්ෂක කතාවක පෙරනිමිති දකිනවා ඔබේ මේ වෑයම තුළ. යමු ඉදිරියට.

    ReplyDelete
    Replies
    1. මෙහෙම අපිව ධෛර්යමත් කරනවානම් මොනාද කරන්න බැරි

      Delete
  5. බොහොම හොඳයි. රහස් පරීක්‍ෂක කතා ලියනවා කියන්නේ බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. හැබැයි ඔබ ඉතා දක්ෂ විදිහට කතාව ආරම්භ කර තිබෙනවා. මෑතක සිදුවූ එක්තරා සුප්‍රසිද්ධ ඝාතනයක් මෙයට පසුබිම් වුනාද කියලා හිතෙනවා.

    කෙල් ටෙක් P 11 පිස්තෝලේ මිලිටරි පිස්තෝලයක් නෙවෙයි. කෙටි දුර වෙඩි තැබිය හැකි කුඩා පිස්තෝලයක්.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි, මේකේ අවි ආයුධ පාවිච්චි කරපු කට්ටියත් ඉන්නවා කියලා අමතක උනා...... නිකන් google කරලා ළඟ වෙඩිතියන පොඩි පිස්තෝලයක් හොයලා දැම්මා.... මිලිටරි සම්බන්ධයක් ඇතිකරන්න ඕනේ හින්දා අර විදිහට ලිව්වා.....
      දැන් පෙනෙන විදිහට මීට වඩා research කරලා ලියන්න වේවි වගේ.......ස්තුත්යි...

      Delete
    2. ඔන්න වෙනස් කලා

      Delete
    3. මං බොට කිවුවා මතක ඇතිනෙ ගිය පාර.

      Delete
    4. ඔව් ඔව් මතකයි.... හදාගන්න වැරදි ගොඩක් තියනවා......

      Delete
    5. මං ඔය ලියන්න වැඩිය දන්න එකෙක් නම් නෙවෙයි. ඒ වගේම උගන්නන්න දන්නෙත් නෑ. ඒත් මං දන්න ඒව ටිකක් කියන්නම්. කැමති නම් මේල් ඇඩ්‍රස් එක එවන්න.

      Delete
    6. බොහොම පින්, ඩ්රැකී ත් කීප සැරයක් උපදෙස් දුන්නා.... විස්තර එවන්න hibandara@gmail.com

      Delete
  6. අම්මට සිරි බන්ඩො....මරුනේ....
    ආතර් කොනන් ඩොයිලිගේ පොතක් කියෙව්වා වගේ......

    ReplyDelete
    Replies
    1. එල එල තව ඒවා මග එනවා

      Delete
  7. කතාව හොඳයි බන්ඩෝ.ඔය පරීක්ෂණ කරන්න කොළඹින් ආපු ලොක්කා නිදන් හැරීමකට සැකපිට ඊයෙ රිමාන්ඩ් කළා.

    ReplyDelete
    Replies
    1. ඒක කලේ රජකාලේ නැති උන බඩු වගයක් හොයන්න. නැතුව හොරකමකට නෙවෙයි

      Delete
  8. ඇමරිකාවෙ පොඩ්ඩක් ක්‍රිකට් ගහනවනම් තමයි
    ඒත් ක්‍රිකට් ගහන ඇමරිකන්කාරයෙක් කියන එක නිකම් රගර් ගහන ඉන්දියන්කාරයෙක් කිව්වවගේ නෙ. ඇයි ඔය තරම් දුර්ලභ කෙනෙක්ව තෝරගත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඕක ගොල්ෆ් කලා නම් වඩා හොඳයි නේ? එතකොට ග්ලව් එකේ වෙනසත් වැඩියිනෙ දකුණ වම. (සමාවෙන්න කිව්වට. මෙහි ලිවීම ඉතා හොඳයි. ක්ලැසිකල් රහස් පරීක්ෂක විදිහට ලියල තියනව. ඒත් ඔයවගේ jarring එකක් දැක්කහම මගෙ කියවගෙන යන රිද්මය කැඩෙනව, ඒකයි කිව්වෙ . Sorry)

      Delete
    2. ප්‍රා කියන කතාව ඇත්ත. වෙන කතා වගේ නෙවෙයි රහස් පරීක්ෂක කතාවක් උපරිමෙන් තාත්වික වෙන්න ඕනෙ. පොඩි දෙයක් උනත් පිට පනිනවා නම් ඒක දැනෙනවා වැඩී. මොකද රහස් පරීක්ධක කතාවකින් අපි බලාපොරොත්තු වෙන්නෙ සාමාන්‍ය ජීවිතේ සිද්දි දාමයක්මයි. ඒක අතාත්වික වෙන්න බෑ.
      ඔතනදි සර් ඩොයිල්ටත් වැරදිච්ච තැන් තියෙනවා හෝම්ස්ව හදනකොට. ඒ අතින් අගතා ඒ දේ නියමෙට කරලා තියෙනවා පොයිරෝගෙන්.

      Delete
    3. @ප්‍රා @කැමා මෙහෙමයි, ඒක එහෙම කලේ පොඩි හේතුවක් ඇතුව. කතාව කොටස් වලට නොකැඩුවනම් ඉක්මනට දැනගන්න තිබ්බා. ක්‍රිකට් ගහන ඇමරිකන් කාරයෙක් කියන එකේ පුදුමය උලුප්පලා නොගත්ත එක මම කරපු වරදක්.
      මෙහෙම advise දෙන එක මරු නේ........ වැරදි හදාගෙන ලියන්නම්.

      මෙතන තියන අමුත්ත පෙන්නන්න පොඩි කොටසක් එකතු කලා.....

      Delete
    4. / ක්‍රිකට් ගහන ඇමරිකන් කාරයෙක් කියන එකේ පුදුමය උලුප්පලා නොගත්ත එක මම කරපු වරදක්. /

      නෑ. උඹ උලුප්පල වැඩියි! ඒක මං කියවගෙන යද්දිම දැක්කා. හැබැයි, ඒක විතරයි මං දැක්කෙ ඉඟියකට...

      Delete
    5. ඒ කැල්ල පස්සේ දැම්මේ......

      Delete
  9. නියමයි....... ඊළග කොටසත් ඉක්මනට දාන්න...........

    ReplyDelete
  10. බණ්ඩෙ මචං.අපිව කරකවලා අතහරින විදියේ කතාවක් ලියපං හොදේ.මම මෙක දෙපාරක් බැලුවා.

    ReplyDelete
    Replies
    1. බලමු. අන්තිමට තෝ අපේ වෙලාව කෑවා කියලා මට බනීද දන්නේ නෑ

      Delete
  11. කතාව කියවන්න කලින් උඔට කියන්න දෙයක් තියනවා.
    ගිය පාර පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දිලා නෑ..හැම කෙනෙකුගෙම කමෙන්ට් වලට උත්තර දෙන්න සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එකේ ඉතුරු කොටස් වල තවමත් හිරවෙලා ඉන්න හින්දා පරණ ඒවාට රිප්ලයි කොරන්න බැරිඋනා හිටන්, සමා වෙන්න ඕනේ.......

      Delete
  12. එල ද බ්‍රා
    මේක උඔගේ එල ද බ්‍රා හැකියාවක්..
    ප්‍රා , කැමා උඔට හොද උපදෙස් ටිකක් දිලා ... හැම දෙයක් ගැනම සැලකිලිමත්ව අනිත් කොටස ඉක්මනට දිපන් නැත්නම් උඔටත් M1911 උන්ඩයක් බස්සනවා..

    ReplyDelete
    Replies
    1. හරි හරි බඩු මග එනවා තව එක කොටසකින් ඉවර කරන්නද නැත්නම් තව කොටස් දෙකක් විතර දාන්නද කියල හිත හිතා ඉන්නේ....

      Delete
    2. වෙලාව අරගෙන එල ද බ්‍රා වගේ ලියලා කොටස් තුනකට හරි කමක් නෑ දාපන්

      Delete
  13. බණ්ඩා ලොවෙත් නෑ බන් මම උඹේ රහස් පරීක්ෂක කතා මුල ඉඳන්ම කියවපු උඹේ ලොකු රසිකයෙක් . දැන් දැන් උඹ ලියන ඒවා කලින්ටත් වඩා සිරාවට පොලිෂ් වෙලා එනවා . දිගටම ලියපන් ජය !

    ReplyDelete
    Replies
    1. එල, අනිත් කොටස් ළඟ එනවා..... බලලා හොඳ නරක කියන්න

      Delete
  14. ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ ක්‍රම වැඩි හරිය බොහෝම යල් පැනගිය ඒවා. ප්‍රායෝගිකව මේ සංකීර්ණ සමාජයෙදි ඒවා ක්‍රියාත්මක කරන්න බෑ. අදට ගැලපෙන ක්‍රමයකට මේක යනවා වගේ. ආරම්භය වගේම දිගටම වැඩේ ඇදගෙන ගියොත් බොහොම සිත්ඇදගන්නා නවකතාවක් බිහිවන ලක්ෂණ සේරම මේකෙ තියෙනවා.
    (ලංකාවෙ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ භෞතික/ජෛව සාධක සොයාගෙන ඒ අනුව අපරාධ කරුවන් සොයන ක්‍රමය නෙමේ. අපරාධකරුම තැනකදි බය හෝ බීමත්කම හෝ වෙනත් හේතුවක් නිසා කරන හෙලිදරව්වක ඔත්තුව අනුව ගිහිනුයි අපරාධකරු අල්ලගන්නෙ. මම කියන්නෙ බොරුද කියලා බලපං පහුගිය අපරාධ රැල්ල පොඩ්ඩක් අධ්‍යයනය කරලා. මෙන්න මේ කාරණාව අනුව උඹ මේක ලංකනයිස් කරනවද ෆොරිනයස් කරනවද කියලාත් තීරණය කරපං. ෆොරිනයිස්නං රසය වැඩියි.)

    ReplyDelete
    Replies
    1. හරියටම හරි, මේක තව දුර ඇදගෙන යන්න පුළුවන් දේවල් මගේ හිතේ තියනවා ඒ වගේම තව එක කොටසකින් දෙකකින් ඉවර කරන්නත් පුළුවන්..... බලමු දෙවන කොටසේ ප්‍රතිචාර අනුව.

      ඔව් පරණ ක්‍රම කොහොමත් හරියන්නේ නෑ.... එහෙම උනොත් බෝරිං වෙනවා...... පොඩි මික්ස් එකකින් යන්න තමයි හිතන් ඉන්නේ

      Delete