වෙඩි හඬ - 1 කොටස
වෙඩි හඬ - 2 කොටස
වෙඩි හඬ - 3 කොටස
කුලී රථයේ ගමන් විස්තර නැවත නැවත කීපවරක් පරීක්ෂාකළ දිවාකරට කිසියම් සැකමුසු ගමන් වාර දෙකක් දක්නට ලැබිණි. මඳ වෙලාවක් කල්පනාවේ යෙදුනු ඔහූ ආරක්ෂක ලේකම් වරයා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන කිසියම් කතාබහක යෙදුනේය.
එදින දහවල වනවිට ආරක්ෂක ලේකම් වරයාගේ අත්සන සහිත ලිපියක් සහ සෝදිසි වරෙන්තුවක් අතගත් පොලිස් පරීක්ෂක ජයසූරිය සහ දිවාකරයන් ගම්පහ නගරයේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරු ඉදිරියේ පෙනී සිටියහ. කෙටි, රහස් කතාබහකින් පසුව කවරයක දැමූ කිසිවක් අතැතිව ඔවුන් නැවතත් අගනුවර බලා පිටව යනු දක්නට ලැබිණි.
"ජයසුරිය දන්නවද මේ ටික ගන්න තමයි මුන් මේ හැම දෙයක් ම කලේ. හැබැයි අපි තවම දන්නේ නෑ ඒ කව්ද කියලා හරියටම"
"සර්, අපි බැංකුවේ ටීම් එකක් තිබ්බොත් නරකද? මුන් ඕක ගන්න අවොත් අල්ලගන්න පුළුවන් "
"වැඩක් නැහැ. දැනටම මේක අපි අතට අරන් ඉවරයි කියලා උන් දන්නවා"
"ඇත්තටම කොහොමද සර් මේක මෙතන තියනවා කියලා දැන ගත්තේ........."
"ඒක උනේ මෙහෙමයි, මම අර ටැක්සි එකේ ගමන් විස්තර බැලුවා.... දිගටම බලද්දී දැක්කා මිනීමැරුම සිද්ධ උන දවසේ හවස් වරුවේ දෙපාරක් බැංකුවට ගිහින් තියනවා වාහනේ. පලවෙනි සැරේ පැය බාගයක් විතරත් දෙවැනි සැරේ පැයක් විතරත් එතන නවත්තගෙන ඉඳලා තියනවා.... කව්රුහරි හයර් එකක් අරන් ගිය කෙනෙක් එක්ක ගියා වෙන්නත් පුළුවන්. එත් මට සැක හිතුනේ පැයක් ටැක්සියක් එළියේ නවත්වාගෙන ඉන්න හේතුවක් තියනවද හයර් එකක් ගිය කෙනෙක්ට. ඒක යවලා වෙන එකක යන්නේ නැතිව.
ඉතින් මම බැංකුවට ගිහින් මැනේජර් හම්බවෙලා CCTV රෙකොර්ඩ්ස් බැලුවා. ටැක්සි ඩ්‍රයිවර් ඇතුලේ කෙනෙක් එක්ක විස්තර කතාකරනවා ඒකේ පැහැදිලිව තිබ්බ. ඒ ඔෆිසර් ගෙන්නලා වීඩියෝ එක පෙන්නලා ඇහුවම කිව්වා මේ මිනිහා බෑන්ක් ලොකර් එකක් ගන්න විදිහ, එකේ ආරක්ෂාව, ගාන වගේ දේවල් ඇහුවලු. මූට මොනවටද මෙහේ බෑන්ක් ලොකර් කියලා කල්පනා කරද්දී තමයි මට මතක් උනේ අර අපි මතුකරගත්ත නොම්මරේ..............8 0 4 3 5.
මම නොම්මරේ මැනේජර් ට දීලා ඒක මෙහෙ එකක් ද කියලා බැලුවා. ඒක මේ බැංකුවේ ලොකර් එකක්.........."
"ඒකෙ අයිතිකාරයා ඇන්ඩ්රූ ෆිලිප්ස්."
"ඩ්‍රයිවර් විස්තර හොයලා තියෙන්නේ ලොකර් එක අරින විදිහක් දැනගන්න. ඊට පස්සේ තමයි මම ඉක්මනටම ලේකම්තුමාට කතාකරලා ලියුමකුත් අරන් වොරන්ට් එකකුත් අරන් ලොකර් එක ඇරියේ...."
"එතකොට සර් මිනිහා ලොකර් එකෙන් බඩු ටික පන්නන්න කලින් මරන්න ඇත්තේ ඇයි?"
"ඩ්‍රයිවර් මැරුවේ අපි මිනිහා ගැන සැක කරනවා කියලා දැනගත්ත ගමන්. මමත් ජයසූරියත්, ලේකම් තුමත් විතරක් දැනගන හිටපු ඒ විස්තර පිටට ගියේ කොහොමද කියන එක මට තවම ප්‍රශ්නයක්? මම මිනිහගේ අත් අකුරු එක්ක ලොකර් නොම්මරේ සම්බන්දේ දැක්කේ ඊයේ හවස. එවෙලේම මම ඒක ලේකම් තුමාට කිව්වා. ජයසූරියට කිව්වේ අද උදේ........ හැබැයි ඊයේ රෑ වෙද්දී මිනිහව මරලා දානවා......... ලේකම් තුමාගෙන් විස්තර පිට වෙනවා වත් ද? අපි අහලම බලමු මොකක්ද මේ වෙන්නේ කියලා...."
******
ඉක්මන් ගමනකින් පසු පරීක්ෂකයින් දෙදෙනා ආරක්ෂක ලේකම් වරයාගේ කාර්යාලයට ලඟා වුහ. ලේකම් වරයා හමුවී බැංකු ලොකරයෙහි තිබු ලිපිගොනු සහිත කවරය ඔහු අත තබා ලේකම් වරයා ඇමතු දිවාකර,
"සර් ඩොකියුමන්ට් ටික ගන්න අපිට පුළුවන් උනා. හැබැයි මේක පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා තවම හොයාගන්න බැරි උනා....ඕක බලලා ඉක්මනින් අවශ්‍ය පියවර ගන්න. රාජ්‍ය රහසක් කීව නිසා අපි ඇරලා බැලුවේ නැහැ." දිවාකර කීවේ සිනහසෙමිනි.
"ප්‍රශ්නය උනේ... හැම වෙලාවේම උන් අපිට වඩා එක අඩියක් ඉස්සරහින් හිටිය එකයි. ඒ අපේ ඊළඟ පියවර උන්ට කලින්ම දැනගන්න ලැබෙන හින්දා.....ඒ නිසාමයි ඩ්‍රයිවර් මරලා දැම්මෙත්"
"මොනවා..... දිවාකර කියන්නේ අපේ ඉන්ෆොර්මේෂන් උන්ට යනවා කියලද? " ලේකම් වරයා ඇසුවේ පුදුමයෙනි.
"ඔව්. කොහේ හරි ලීක් එකක් තියනවා...... සර්ට මම කියපු විස්තර තව කාට හරි කිව්වද? විස්වාසවන්තම කෙනෙකුට හරි" එය ඇසූ ලේකම් වරයා කල්පනා කරනු දක්නට ලැබිණි. මඳ වෙලාවක් කල්පනා කල ඔහු,
"ඔව්, එක්කෙනෙකුට, මේජර් මනුවර්ණට. හැබැයි මට මිනිහා විශ්වාසයි."
"ආ... මේජර් මනුවර්ණ, මිස්ටර් ඇන්ඩ්රූ එක්ක මේ පරික්ෂනේ කරපු අනික් මොළකාරයා.......මම හිතුවා....."
කිසිවෙකුටත් හෙළි නොකළ පරීක්ෂණයේ අනෙක් සාමාජිකයා මේජර් මනුවර්ණ බැව් දිවාකර පවසනු ඇසූ ලේකම්වරයා පුදුමයට පත්වෙනු දක්නට ලැබිණි.
"සර් මට විස්තර කියන්න බෑ කිව්ව නිසා මටම සිද්ද උනා තනියම විස්තර හොයා ගන්න. මේ පරීක්ෂනේ ගැනත්, ඒක මෙහෙයවපු කට්ටිය ගැනත් දැනගන්නේ නැතිව මට මේක පිටිපස්සේ ඉන්න උන් හොයන්න බැහැ... ඉතින් මම විස්තර හෙව්වා.... හැබැයි ඒවා හොයාගන්න වැඩි අමාරුවක් නම් උනේ නැහැ.
මිස්ටර් ඇන්ඩ්රූ ආවේ ගියේ කොහෙද, ක්ලබ් එකට ගිහින් හම්බවෙන්නේ කව්ද, වැඩිපුර ඉන්නේ කාත් එක්කද, ඔය වගේ දේවල් හොයාගන්න වැඩි මහන්සියක් වෙන්න උනේ නැහැ. ක්ලබ් එකේ වැඩ කරන මනුස්සයෙකුට පොඩි ගානක් දීලා අන්ඩ්රුගේ හැඩහුරුකම් කියන්න විතරයි ඕනේ උනේ"
"දැන් ඒක පැත්තක තියමු එහෙනම් එතැනින් තමයි තොරතුරු පිට වෙන්නේ. ඔබ තුමාටවත්, ජයසුරියටවත් නොකියපු තව දෙයක් දැන් මම කියන්නම්. මම චෙක් කලා ටැක්සි ඩ්‍රයිවර් ගේ ටෙලිෆෝන් කෝල්ස්...... ඒකේ තිබුණා මේජර් මනුවර්ණගේ ඔෆිස් ෆෝන් එකෙන් ආව කෝල් කීපයක්. "
එය අසා ලේකම් වරයා සිය හිසේ අත ගසා ගත්තේය. එම ඉරියව්වෙන්ම සිටිමින් සන්සුන් වූ ඔහු,
"මම හිතුවේ නැහැ මේ මිනිහා මෙහෙම පාවාදීමක් කරාවි කියලා.... මිනිහගේ පරණ රෙකොර්ඩ්ස් බලලා මම මයි මේ වැඩේට යෝජනා කලෙත්. මට දුන්න අප්ඩේට් අනුව මිනිහා ඇන්ඩ්රූ එක්ක නියමෙට මේක කරගෙන ගියා කියලා තේරුණා.... බොහොම ටිකයි තිබුනේ ඉවරයක් කරන්න..... දැන් මොනවා කරන්නද? ජයසුරිය, මිනිහව ඇරස්ට් කරන්න"
නැගිට යාමට සැරසුණු පොලිස් පරීක්ෂකයා නැවැත්වූ දිවාකර,
"පොඩ්ඩක් ඉන්න, මට පොඩි ගැටළුවක් තියනවා.... තමන් දැනටමත් දන්නා තොරතුරු මේ විදිහට ගන්න උත්සාහ කරන්න මේජර්ට ඕනෑකමක් තියනවද?"
"දිවාකර හරි, හැබැයි අන්තිම රිපෝර්ට් එක හැදුවේ ඇන්ඩ්රූ.....එතකොට මේ රිපෝර්ට් එක, මේකේ තියන ඩේටා... ඕනෙම ගානක් දීලා ගන්න කැමතිවෙන රටවල් කීපයක්ම තියනවා කියලා මතක තියාගන්න. දැන් මේකේ තියන දේවල් ඔයගොල්ලන්ගෙන් තව දුරටත් හංගන්න මට ඕනේ කමක් නැහැ. හැබැයි මතක තියාගන්න මේකේ තියන දේවල් මෙතනින් පිට යන්න බැහැ" කියමින් ආරක්ෂක ලේකම් වරයා ආරක්ෂිතව මුද්‍රා තබා තිබූ ලිපිගොනුව විවෘත කොට එහි තුල වූ දේ පිටතට ගත්තේය. සියලු දෙනා පුදුමයට පත්කරමින් එහි තිබුනේ සීරුවට ඉරන ලද මාසික සඟරාවක කොළ ගොන්නකි.
"මොනවා.......... මුන් මේ සැරෙත් අපිට ඉස්සරවෙලා........." කියමින් දිවාකර සිය සගයා දෙස බැලීය. කිසිත් කියාගත නොහැකිව ගොලුවූ දිසානායක සිය දෑත් හිසේ ගසා ගත්තේය.
"අපි කොහොම හරි මේ ඩොකියුමන්ට් හොයා ගන්න ඕනෑ දිවාකර, මොනවා කරලා හරි මේවා පිට යන එක නවත්වා ගන්න ඕනේ... දැනටමත් අපි පරක්කුද මන්දා......."
ලේකම් වරයාගේ කාර්යාල මේසය අසලින් ඉවත්වූ දිවාකර පසෙක වූ අසුනක සුවපහසුව අසුන්ගෙන කල්පනා කරන්නට පටන් ගත්තේය. තමන්ට පෙර යමෙක් බැංකු ලොකරය විවෘත කොට අදාල ලිපිගොනුව ඉවත්කරගෙන ඇත. බැංකු ලොකරයක් ලබගත්පසු පාරිභෝගිකයාට ලබාදෙන යතුර ඇන්ඩ්රූ මහතාගේ නිවසේ ඇත්දැයි කලින්ම සොයා බැලීමට තමන්ට අමතක වීම ගැන ඔහු මහත් කනගාටුවටත් ලැජ්ජාවටත් පත්විය.
"මුන් හැම වෙලාවේම ප්ලෑන් B එකක් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ....මුලින්ම ඩ්‍රයිවර් යවලා බැලුවා ලොකර් එක ඇරගන්න විදිහක් තියනවද කියලා.... මිනිහා ගැන අපිට සැක හිතුන බව දැනගත්ත ගමන් මිනිහව මරලා දැම්මා.......... මට හිතෙන්නේ සල්ලි දීලා බැංකුවේ කෙනෙක්ටම කියලා ලොකර් එක ඇරවා ගන්න ඇති. අපි ඒ ගැනත් හොයමු."
"ඇන්ඩ්රූම මෙහෙම කලා වෙන්නත් පුළුවන්, ඕක ගන්න කෙනෙක් අවොත් නොමඟ යවන්න. ඇත්ත ඩොකියුමන්ට් වෙන තැනක තියනවා වෙන්නත් බැරි නැහැ"
"හැබැයි, මේජර් මනුවර්නට ඒක ගන්නම ඕනෙනම් මේ ටැක්සි ඩ්‍රයිවර්ලා දාගෙන මේ තරම් අමාරු විදිහට මේක කරන්න ඕනේ කියලා සර් හිතනවද? මට හිතෙන්නේ මේකට වෙන කව්රුහරි සම්බන්ධයි"
එය ඇසූ ලේකම් වරයා මඳක් කල්පනා කොට,
"ඔව් ඒ කතාවත් ඇත්ත. මම මනුවර්ණව එදා ඉඳලම දන්නවා... මට තවම හිතාගන්න බැහැ මිනිහා මේක කලා කියන එක. හොඳයි දිවාකර කියන්නේ කව්රු මේක කලා කියලද? දැන් ඩොකියුමන්ට් කොහේ ඇති කියලද හිතන්නේ"
"ඒක තවම කියන්න බැහැ. මේ රිපෝර්ට් එක එලියට ආවම ඒකෙන් හානි වෙන්නේ කාටද? මේක කරන අයගෙන් පලිගන්න ඕනේ කාටද? ඒ වගේම මේජර් මනුවර්ණ එතැනින් අයින් කලාම වාසි වෙන්නේ කාටද? ඔය වගේ ගොඩක් දේවල් හොයන්න වෙනවා.....ඒ වගේම අපි හිතුවොත් මේක කලේ මනුවර්ණ නෙවෙයි කියලා....... එහෙනම් කොහෙන්ද තොරතුරු පිටවෙන්නේ.... වෙන කාටද මේවට ඇක්සස් තියෙන්නේ....."
"තව දෙයක්, මිස්ටර් ඇන්ඩ්රූ ළඟ තියන අවි ආයුධ ගැන විස්තර වෙන කාට හරි දැනගන්න පුලුවන්ද? මම එහෙම අහන්නේ......එයාව මරන්න ගිය කෙනා කලින්ම දැනගෙන ඉඳලා තියනවා ඒ පිස්තෝලේ ගැන. ඒකයි සියදිවි නසාගත්තා කියලා පෙන්නන්න ලේසි උනේ..."
"ඔව් හොඳ වෙලාවට දිවාකර එතනට ගියේ...නැත්නම් මේ කේස් එක එතැනින්ම ඉවරයි. උන් ෆයිල් එක ගන්නකල් අපි දන්නෙත් නැහැ." ලේකම් වරයා කියා සිටියේ නොරිස්සුමෙනි.
"අර විස්තර සිස්ටම් එකේ තියනවා... හැබැයි ඇක්සස් තියෙන්නේ මටයි මනුවර්ණටයි විතරයි...... කෝ බලමු" කියමින් ලේකම් වරයා සිය පරිඝනකය වෙත අසුන කිට්ටුකර ගත්තේය.
"තව කෙනෙක් ඉන්නවා, මනුවර්ණගේ ස්ටාෆ් එකේ කෙනෙක්, කැප්ටන් ජයන්ත. ආ..... දැන් මතක් උනා...... මනුවර්ණගෙ රික්වෙස්ට් එකකට මම අත්සන් කලා මෙයාට ඇක්සස් අරන් දෙන්න."
ලේකම් වරයාගේ උදව්වෙන් කැප්ටන් වරයාගේ තොරතුරු කිහිපයක් ලබාගෙන සටහන් කරගත් දිවාකර, මේසය මත තිබු සඟරා කොළ සියල්ල සීරුවෙන් නැවතත් කවරයට දමාගෙන කාර්යාලයෙන් පිටතට පැමිණියේය.
******
ඉන් මඳ වෙලාවකට පසු අත්අඩංගුවට පත්වූ මේජර් වරයාට එරෙහිව ප්‍රබල ශාක්ෂි ගොඩ නැගෙමින් තිබිණි. මියගිය ඇන්ඩ්රූ මහතා භාවිතා කල වර්ගයේම පිස්තෝලයක් ඔහුගේ කාර්යාල සේප්පුව තුල තිබී හමුවූයේ එයට ගැලපෙන පිස්තෝල සයිලන්සරයක්ද සමගිණි. දිවාකරගේ ඉල්ලීමෙන් පසු ලේකම් වරයාගේ අණින් වේගවත් වූ පරීක්ෂණ වලින් තහවුරු වූයේ ඝාතන දෙකටම යොදාගෙන තිබුනේ එම පිස්තෝලය බවය.
පරීක්ෂණයට යොමු වූ මුල් අවධියේ ඇන්ඩ්රූ මහතා විසින් එම පිස්තෝලය හා සයිලන්සරය තමන්ට ලබා දුන් බව පිළිගත් ඔහු එය ආරක්ෂිතව තබා, ඒ වනවිටත් රජයෙන් තමන්ට ලබාදී තිබුණු අවියම තම ආරක්ෂාවට ළඟ තබාගත් බව කියා සිටියේය. යමෙක් සැලසුම් සහගතව තමන් හසුකර ඇති බව ඔහු පුන පුනා කියා සිටියේය. කෙසේ වෙතත් දුරකථන තොරතුරු හා ගිනි අවියේ වූ ඇඟිලි සලකුණු අනුව ඔහුට ගැලවීමක් නැති බව පෙනිණි. පසුව මේජර් වරයා විශේෂ ස්ථානයක රඳවා ප්‍රශ්න කිරීමට රැගෙන යන ලදී. එයට පෙර ඔහු හමුවූ දිවාකරයන් ඔහුගෙන් යම් යම් දේ විමසමින් සටහන් කරගනු දක්නට ලැබිණි.
******
රාජකාරි නිමා කොට නිවසට යාමට සැරසුණු ලේකම් වරයාට සිය ජංගම දුරකථනය නාද වෙනු දැනිණි. ඇමතුම දිවාකරගෙනි.
"සර් ගෙන් පොඩි උදව්වක් ඕනේ.... මම චෙක් කරලා බැලුවා.... තවමත් කැප්ටන් ජයන්ත ඔෆිස් එකේ ඉන්නවා..... මිනිහව සර්ගේ කාමරේට ගෙන්නාගෙන ටිකක් කතා කර කර ඉන්න. සැක හිතෙන දේවල් මොකුත් කතා කරන්න එපා.... එක පැයක් මිනිහව තියාගන්න.....මම එනකල්"
දිවාකරගේ ඉල්ලීම අනුව නිලධාරියෙක් යවා කැප්ටන් වරයා කාමරයට කැඳවා ගැනීමට ලේකම් වරයාට හැකිවිය. ඒ වන විටත් අවශ්‍ය තැන ස්ථානගතවී සිටි පරීක්ෂකයන් දෙදෙනාට සිය කාර්යය කර ගැනීමට ගත වුයේ මිනිත්තු පහලවකටත් අඩු කාලයකි. එම කාලය තුල කැප්ටන් වරයාගේ ජංගම දුරකථනය දෙවරක් නාද වූ අතර. සිය නිවසින් ලැබුණු එම ඇමතුම් දෙකම පිළිතුරු නොදී විසන්ධි කලේ ඔහු ආරක්ෂක ලේකම් වරයා සමග සිටි හෙයිනි.
******
"ෆෝන් එක කට් කරන්නේ එයා සමහර විට මීටින් එකක ඉන්නවා වෙන්න ඇති. මොනවගේ ෆයිල් එකක් කියලද කිව්වේ......" තේ බන්දේසියක් රැගෙන ආ කැප්ටන් වරයාගේ බිරිඳ දිවාකරගෙන් විමසා සිටියාය.

"ආ... කහපාට සීල් කරපු එකක්. හරියටම මෙන්න මේ වගේ...." කියමින් ඔහු තමන් රැගෙන ආ කවරය දක්වා සිටියේය.
මඳ වෙලාවකින් ඔහු අතවූ කවරයට සමාන කවරයක් රැගෙන ආ ඇය එය ඔහුගේ අත තැබුවාය.
"අපි එන්න කලින් ගෙදරට කතා කරනවා කිව්වා.... සමහර විට ලේකම් තුමා එක්ක මීටින් එකක වෙන්න ඇති.......මේ ෆයිල් එකත් ඉක්මනට ගෙනියන්න ඕනේ " කියමින් තේ කෝප්පයේ අඩක් අවසන් කල දිවාකර ඇයට ස්තුති කරමින් නිවසෙන් පිටතට පැමිණියේ ඒ අසලම තනිවම සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවාගේ හිස අතගාමිනි.
පරීක්ෂක ජයසුරිය ඉක්මනින්ම වෙනත් කාර්යයකට යොමුකළ දිවාකර, ලේකම් වරයා හමුවීමට ඔහුගේ කාර්යාලය බලා පිටත් විය. එහි යන විටත් ලේකම් වරයා කැප්ටන් ජයන්ත සමග සිටිනු දක්නට ලැබිණි. කාමරයේ දොරට තට්ටු කොට ඔහු එහි ඇතුළු වනු දුටු කැප්ටන් වරයාගේ මුහුණ වෙනස්වනු දක්නට ලැබිණි. එය සඟවා දිවාකර වෙත සිනහවකින් සංග්‍රහ කල ඔහු පිටව යාමට නැඟී සිටියේය. එය දුටු දිවාකර,
"ආ කැප්ටන්, තව මිනිත්තු දහයක් ඉන්න පුලුවන්ද? තව යාලුවෙක් එනවා....... එයා ආවම පොඩි විස්තර ටිකක් තියනවා දැනගන්න" කියමින් ඔහු රඳවා ගත්තේය. මිනිත්තු විස්සකට පමණ පසු කාමරයේ දොරට තට්ටු කොට එහි ඇතුළු වූ යේ පරීක්ෂක ජයසුරිය ය. සිය මහපට ඇඟිල්ල උඩු අතට හරවා සිය කාර්යය සාර්ථක බව දිවාකරයන්ට සංඥා කොට පෙන්වූ දිසානායක, එක්වරම ඉදිරියට විත් කැප්ටන් වරයා අත්අඩංගුවට ගෙන මාංචු දමා ඔහුගේ ආයුධ සිය බාරයට ගත්තේය. කිසිවක් පැහැදිලි නැති හෙයින් පුදුමයට පත්ව සිටින ලේකම් වරයා දුටු දිවාකර, තමන් රැගෙන ආ බෑගයක් තුලින් කහපැහැති කවරයක් පිටතට ගෙන එය ඔහු අත තැබීය.
"සර් ඔන්න පැකේජ් එක, කැප්ටන් ජයන්තගේ නෝනා තමයි අපිට දුන්නේ........"
ඉක්මනින් එය විවෘත කල ලේකම් වරයා එය තුල ඇති දෑ දැක සැනසුම් සුසුම් හෙලනු දක්නට ලැබිණි. ඉන්පසු කැප්ටන් වරයා දෙස හැරුණු දිවාකර, පරීක්ෂක ජයසුරිය අමතා.....
"ජයසුරිය, මෙයාගේ ඩ්‍රයිවරුයි අර බැංකුවේ මනුස්සයයි දෙන්නත් ඇරස්ට් කරන්න. මිනී මැරුම් දෙකකටත් රාජ්‍ය රහස් හොරකම් කළාටත් තමයි කැප්ටන් ඔය මාංචු වැටිලා තියෙන්නේ........ ඔයා හිතන්න නැතිව ඇති අහු වේවි කියලා නේද?
කැප්ටන් වරයා ආරක්‍ෂිතව විශේෂ ස්ථානයකට ගෙනයාමට අණ කල ලේකම් වරයා දිවාකරට සිය ස්තුතිය පුදකළේය.
"කොහොමද දිවාකර මේක හොයාගත්තේ.........තමුසේ යකෙක්නේ....... "
"සර් කැප්ටන් ජයන්ත ගැන කිව්වට පස්සේ මම මිනිහා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මිනිහගේ ලකුණු බොහොම හොඳට ගැලපුනා අර මිනීමැරුම් දෙකම ළඟ තිබ්බ සලකුණු එක්ක. මම කිව්වනේ මිස්ටර් ඇන්ඩ්රූට වෙඩි තියලා තියෙන්නේ උස මනුස්සයෙක් කියලා පෙනෙනවා කියලා... ඒක එකක්. අනිත් එක මත්පැන් නොබොන එක. තව වැදගත්ම එකක් තමයි බැංකුවේ ලොකර් බාරව ඉන්න ඔෆිසර් කෙලින්ම අඳුනා ගත්තා මේ මිනිහව. මුලදී මෙහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා තමයි කිව්වේ... පස්සේ මම කිව්වා මෙයාට උදව් කරපු මිනිස්සු ශාක්ෂි නැති කරන්න එක එකා මරලා දානවා.... අපිට උදව් කලොත් බේරෙන්න පුළුවන් කියලා..."
"අර ලියුම් කවරේ තිබ්බ කඩදාසි ටිකෙන් තමයි මිනිහා හොඳටම වරද්දා ගත්තේ, නිකන් පත්තර වගේ නෙවෙයි..... ඒ ඔප කඩදාසියේ ඇඟිලි සලකුණු බොහොම හොඳට වදිනවා....නිකන් ෆොටෝ එකක් ඇල්ලුවා වගේ.....මිනිහගේ විතරක් නෙවෙයි මිනිහගේ නෝනගේ... දරුවාගේ ඇඟිලි සලකුණුත් ඒකෙ තිබ්බා......."
"මිනිහව කතාවට අල්ල ගන්න කියලා සර් ට කිව්වේ එක හේතුවක් ඇතුව. මම සර්ට කතා කලේ කැප්ටන් ජයන්තගේ ගෙදර ලඟට ගිහිල්ලා...... ඊට කලින් මම මිනිහ ඉන්නේ කොහෙද කියල හොයලා බැලුවා.....සර් මිනිහව කාමරේට ගත්ත ගමන් අපි ගියා මිනිහගේ ගෙදරට. මගේ ID දැක්ක ගමන් මිනිහගේ නෝනා අපිව ඇතුලට ගත්තා....."
"ඇත්තටම අපි ගියේ ගෙදර තියන දෙයක් අරන් එන්න ඇඟිලි සලකුණු චෙක් කරගන්න. මොකද සඟරා කොළ වල තිබ්බා ජයන්තට අමතරව තව ඇඟිලි සලකුණු දෙකක්. ගෙදර අයගෙද කියලා බලාගන්නයි ඕනේ කලේ..."
"මිනිහා බැංකුවට ගිහින් තියෙන්නෙම බොරු පැකේජ් එක හදාගෙන. ලොකර් අරින එක වෙන කෙනෙකුට කරන්න බැරි හින්දත්, බැංකුවේ මනුස්සයා බේරෙන්න ඕනේත් හින්දා.... පැකේජ් එක මාරු කරන්න තමයි ප්ලෑන් එක වෙලා තියෙන්නේ..... කාටවත් හොයන්න බැහැ.... රෙකොර්ඩ්ස් අනුව ලොකර් එක අන්තිමට ඇරලා තියෙන්නේ මිස්ටර් ඇන්ඩ්රූ. එයා දාපු පැකේජ් එක තමයි මේ තියෙන්නේ කියලා ඕන කෙනෙක් හිතන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මුලින්ම මමත් හිතුවේ... මිස්ටර් ඇන්ඩ්රූ ආරක්ෂාවට බොරු පැකේජ් එකක් මේකට දාලා ඇත්ත එක වෙන තැනක තියලා ඇති කියලා....."
"ඉතින් නිකමට මම හිතුවා හරි පැකේජ් එක මිනිහා ගෙදර තියලා ඇති කියලා.........ඉතින් මම මිනිහගේ නෝනට අපේ වැරදි පැකේජ් එක පෙන්නලා කිව්වා 'මෙන්න මේ වගේ එකක්, කැප්ටන් ජයන්ත ඒක අරන් යන්න තමයි මාව එව්වේ කියලා....බොහොම වටිනා එකක් කියලත් මම කිව්වා. එයා ඒ වෙලාවේම මිනිහට කෝල් එකක් ගත්තා...... මම දැනගෙන හිටියා මිනිහා සර් එක්ක ඉන්න හින්දා ඒකට ආන්සර් කරන්නේ නැහැ කියලා...... එයා කොහෙන්දෝ ඒක හොයාගෙන ඇවිත් මට දීලා ආයෙත් කෝල් කලා..... හොඳ වෙලාවට ඒකට කතා කලෙත් නැහැ. ඔය වෙනකොට ජයසුරිය ගෙදර තියන ෆින්ගර් ප්‍රින්ට් චෙක් කරගන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන ඉවරයි... ඉතින් මිනිහව මම ඒ වැඩේට පිටත්කරලා ඉක්මනට මෙහෙට ආවා......"
******
මේජර් මනුවර්ණගේ දුරකථනය භාවිතා කරමින් කුලී රථ රියැදුරාට උපදෙස් දුන් බවත්, මනුවර්ණගේ සේප්පුව තුල වූ ගිනි අවිය තමන් විසින් ඝාතනයන්ට යොදා ගත් බවත් කැප්ටන් වරයා පාපොච්චාරණය කරන ලදී. ඔහුගේ බැංකු ගිණුමකට විදේශයකින් බැරව තිබූ අති විශාල මුදලක් පසුව කරන ලද පරීක්ෂණ වලින් සොයාගත් අතර ඔහුට සහය වූ ඔහුගේ රියැදුරා සහ බැංකු නිලධාරියා පොලිස් අත්අඩංගුවට පත්විය.
~නිමි~