Friday 28 August 2015

වැරදුණු දඩයම.........



බැස්ටියන් පාරේ ධර්මපාල මහත්තයා මැරිලා...............
පළාතේම හිටිය ධනපතියාගේ අකල් මරණය ගැන පුවත ප්‍රදේශය පුරාම පැතිරුණේ ලැව් ගින්නක් ලෙසිනි. හිත හොඳ මිනිසෙක් ලෙස ප්‍රසිද්ධ බැස්ටියන් ධර්මපාල මහතා පළාතේ නමගිය පොහොසතෙකි. මව්පිය උරුමයෙන් ලැබුණු අති විශාල ධනස්කන්ධයත් ඒවා විවිධ අයුරින් ආයෝජනය කිරීමෙන් දෙගුණ තෙගුණ කරගත් මහා ධනයක් ඔහුට ඇති බවත් නොරහසකි.

එය 1973 වසරේ අග බාගයේ දිනකි.

ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. "ගූඩ් ආෆ්ටනූන් කුරුඳුවත්ත පොලිස් ස්ටේෂන්, ඉන්ස්පෙක්ටර් දිසානායක හියර්"...............

"ඉන්ස්පෙක්ටර්, මම බැස්ටියන් පාරේ නොම්මර 18 ගෙදරින් කතා කරන්නේ...... අපේ ගෙදරට ගෙවල් පහකට එහා තියන නොම්මර 23 ගෙදර ඉන්න මිස්ටර් ධර්මපාල ගෙදර මැරිලා ඉන්නවා කියල එයාගේ වැඩකාරයා ඇවිත් කිව්වා............ ඔබතුමාත් දන්නවා ඇතිනේ මිස්ටර් ධර්මපාල ගැන. කරුණාකරලා කාවහරි එවන්න පුලුවන්ද?"

සාජන් ඉක්මනට ජීප් එක ලෑස්ති කරනවා......... අපිට බැස්ටියන් රෝඩ් එකට යන්න තියනවා................

අති විශාල නිවසේ ඇතුල් කාමරයක ධර්මපාල මහතා අවසන් හුස්ම හෙලා ඇති බව එහි ගිය ඉන්ස්පෙක්ටර් දිසානායකට මෙහෙකරු විසින් දන්වන ලදී. හැඩි දැඩි නිරෝගී මිනිසෙක් වූ ධර්මපාල මහතා බිම වකුටුවී අවසන් හුස්ම හෙලා ඇති අයුරු දැකී මෙන් දිසානායකට තම සිත තුල එකවරම මහත් කනගාටුවකුත් පසුව සියුම් සතුටකුත් ඇතිවී නැතිවී ගිය බව දැනුනි. දුකනම් මසකට දෙතුන් වතාවක් තම පොලිස් වසමේ දකින මෙවන් මරණ ගැන ඇති වූ දුකකි, සතුටනම් කිසියම් අභිරහසක් මෙම මරණය පසුපස ඇතැයි ඔහුගේ සියුම් මොලයට අපරාධ ස්ථානය දුටු සැනින් හැඟුණ නිසාවෙනි.

"සාජන් කිසිම කෙනෙක්ට වත්තේ සීමාවෙන් ඇතුලට එන්න දෙන්න එපා.......... හැමෝම එලියට යවන්න"

තම උසස් නිලධාරියාගේ උද්යෝගමත් අණින්, කලකට පසු බරපතල වැඩක් ලැබී ඇති බව හෝ ලැබෙන්නට යන බව සාජන් හේරත් ට හොඳින් වැටහුණි.
දිවයින පුරා බොහෝ පොලිස් ස්ථානවල දිසානායක මහතා සමග විවිධ අපරාධ පරීක්ෂණ වල නිරත වූ සාජන් හේරත්, තමා ඔහුට හමුවූ හොඳම සහයකයා බව අසන්නට ලැබෙන හැම වාරයකම තම හිත මහත් අභිමානයෙන් පිරී යන බව දනී. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලින් එන ඉල්ලීම් අනුව රට පුරා විවිධ අපරාධ විසඳමින් තැනින් තැන ඔහු සමග යෑම මහත් කරදරයක් උනත් සාජන් හේරත් දැන් එයට කැමතිය. ඉඳහිට පුවත් පතක තම උසස් නිලධාරියා සමග ජායාරූපයක් පළවනු දකින තරම් දෙයක් ඔහුට තවත් නැත.

"හේරත්, මේ බලනවා මේ සේප්පුව..... මේ වගේ සේප්පු ලංකාවටම ඇත්තේ බොහොම ටිකයි...... මුරුගන් එකෙන් තමයි ගෙන්නන්නේ බොහොම ආරක්ෂිත සේප්පුවක් Chubb Locks කියලා වර්ගයක්, මොන පුතෙකුටවත් අරින්න බැහැ නොම්මර ටික දන්නේ නැතිව. හැබැයි මෙතන නොම්මර දන්නා මිනිහා මැරිලා ගිහින් මේක ඇතුලේ මොනවා තිබ්බද, මොනවා තියනවද කියල දෙය්යෝ තමයි දන්නේ......"

දැන් වෙලාව දවල් 1.35 යි , මිනිය කලුවෙලා කිසිම රස්නයක් නැති නිසා පැය 12ක් වත් කලින් තමයි මැරිලා තියෙන්නේ..... ඒ කියන්නේ ඊයේ රෑ........ බලමු මරණ පරික්ෂනෙන් අපිට දැනගන්න පුළුවන් කීයටද මේක උනේ කියලා.........

තම සාක්කුවෙන් නෝට් පොතක් ඇදගත් දිසානායක මළ සිරුර සීරුවෙන් පරික්ෂා කරන්නට විය. රාත්‍රී නිදන ඇඳුමෙන් සිටි ධර්මපාල මහතා මිය යාමට මොහොතකට පෙර කන්නාඩි මේසය හෝ සේප්පුව අසල කිසියම් දෙයක් කරමින් සිට ඇති බවත් අනතුරුව මිනිත්තු කිහිපයක් ඇතුලත ඔහු මියගොස් ඇති බවත්, ඒවා ඉදිරිපිට ඔහු වැටී සිටින අයුරිනුත් පසෙක විසිවී ඇති උපැස් යුවලෙනුත් ඔහුට පැහැදිළි විය. බිම වැටී තිබූ උපැස් යුවලත් මේසය මත තිබූ තවත් සමහර උපකරන කිහිපයකුත් ආරක්ෂිතව බෑගයක දමාගන්නා ලෙස සාජන් හේරත්ට ඔහුගෙන් අණ ලැබිණි.
කාමරය තුල සේප්පුව හා කන්නාඩි මේසය ඇති ආකාරයත් අවට ඇති අනෙක් ගෘහභාණ්ඩ පවතින ආකාරයත් දල සටහන් තබාගත් දිසානායක, නිදන ඇඳ දැකීමන් ධර්මපාල මහතා පෙර දින එහි නිදා නොගත් බවත් ඒ අනුව මරණය සිදුවූයේ අනිවාර්යයෙන්ම පෙර දින බවත් සිත තබාගත්තේය.

"හේරත්.... මේ ගෙදර තව ඉන්නේ වැඩකාරයෙක් විතරයි කීවා නේද? එන්න කියනවා ඒ මිනිහට අපි පොඩ්ඩක් කතා කරලා බලන්න."

"ඔව් සර්, සුමනදාස කියලා වයසක මනුස්සයෙක්........., දැන් අවුරුදු විස්සක් තිහක් විතර ඉඳලා ධර්මපාල මහත්තයා ගාව වැඩලු. වත්තේම කොනක තියන ගෙදර තමයිලු  මිනිහයි පවුලයි ජීවත් වෙන්නේ....." ඉන්න මම කතා කරන්නම්..........

තමා පරික්ෂා කටයුතු වල යෙදී සිටින විට ඉතා වටිනා බාහිර කරුණු ඒ අතරතුර හොයා දැනගන්නා හේරත් ගේ මේ ගතියට දිසානායක ඉතා කැමතිය. එය තම පරීක්ෂණ වැඩ වලට මහත් රුකුලක් බව ඔහු හොඳින් දනී.

තම කර ඇති තුවා කොනකින් කඳුළු පිසිමින් තමා ඉදිරියේ හිටගත් තරමක් තලතුනා එහෙත් හැඩිදැඩි මිනිසා දෙස තියුණු බැල්මක් හෙලු දිසානායක ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

"සුමනදාස කිව්වා නේද නම?" හොඳයි කීයට විතරද ධර්මපාල මහත්තය මැරිලා ඉන්නවා කියලා දැනගත්තේ......

"මම උදේ හය වෙද්දී බංගලාවට එනවා මහත්තයෝ.... ඇවිල්ලා ඔක්කොම දොර ජනෙල් ඇරලා මුළු ගෙදරම අතුපතු ගාලා සුද්ද පවිත්‍ර කරනවා අපේ මහත්තයට දූවිලි පොදක් තියනවා දැක්කොත් කේන්ති යනවා ඉතින් පුරුද්දක් හැටියට හැමදාම ගෙදරම සුද්ද කරනවා"........

අපේ පවුල එනවා හරියටම උදේ හත වෙද්දී ඇවිල්ලා ඉවුම්පිහුම් වැඩ කරනවා...... උදේ නාමය වැඩිම උනොත් දහය වෙද්දී මහත්තයා නැගිටිනවා.... මහත්තයා නැගිට්ටට පස්සේ තමයි ඒ කාමරේ සුද්ද කරන්නේ. ඒ වෙනකොට මම මහත්තයාගේ කාමරේ ඇර මුළු ගෙදරයි වටපිටාවයි සුද්ද බුද්ද කරලා ඉවරයි. අද දහය වෙනකලුත් මහත්තයාගේ සද්දයක් නැති හින්ද මම ගිහින් බැලුවා..........

තට්ටු කරලා සද්දයක් නැති හින්දා දොර අරගෙන ගිහින් බැලුවමයි අපේ මහත්තයා වැටිලා ඉන්නවා දැක්කේ...........

"ඊට පස්සේ කාටද කතා කලේ? කව්ද මේ කාමරේට ආවේ? සුමනදාසට මතක දේවල් ඔක්කොම කියන්න ඕනෑ.............."

මම දුවලා ගිහින් මහත්තයව නැගිට්ටවන්න බැලුවා.......... අනේ එතකොටත් ඇඟ හීතල වෙලා දරදඬු වෙලා තියනවා දැක්කම මට හිතුනා අපේ මහත්තයා ඉවරයි කියලා............. අනේ දෙය්යනේ අපේ මහත්තයා............

වසර තිස් පහකට පෙර සිට ධර්මපාල මහතා ළඟ වැඩ කරන සුමනදාසට සේවකයෙකුට වඩා සොහොයුරෙක්, මිතුරෙක් මෙන් තමාටත් තම පවුලටත් සැලකූ බව සිහිවීමෙන් නැවතත් අඩෙන්නට විය. තමන්ට විවාහයක් කර දී ගෙවල් දොරවල් හදා දී සැලකූ හැටි ඔහුට සිහිවිය.

"මම මුලින්ම අපේ ගෙදරට දුවලා ගිහින් පවුලට මේ ගැන කියලා..... ගෙවල් පහකට එහා ඉන්නවා පෙරේරා මහත්තයා............ අපේ මහත්තයාගේ යාලුවෙක් ඒ මහත්තයට කිව්වා වෙලා තියන දේ.... "

"දැන් තමුසේ කිව්වා නේද පවුල උදේ හතට මෙහෙට ආවා කියලා"................

"ඔව් මහත්තයෝ ඒ ගෑනි හත විතර වෙද්දී ඇවිත් අට අටහමාර වෙද්දී උදේට දවල්ට දෙකටම උයලා පිහලා තියල ගෙදර යනවා"

"හොඳයි..... එතකොට මහත්තයාගේ කොන්ඩේ කපන්න ආපු මනුස්සයා ආවේ ඊයේ කීයට විතරද?"

ඉන්ස්පෙක්ටර් වරයාගේ මේ ප්‍රශ්නයෙන් පුදුමයට පත් සුමනදසගේ ඇස් උඩ යනු සාජන් හේරත් ට දක්නට ලැබුණි. සුමනදසට පමණක් නොව හේරත් ටද මෙය කුතුහලය දෙන ප්‍රශ්නයකි. මළ මිනිය දැකීමෙන් ඔහු දිනකට හෝ දෙකකට පෙර කොණ්ඩය කපා ඇති බව සාජන් හේරත් ට උනත් කිව හැකිය, එහෙත් ඊයේ කෙනෙක් තම නිවසට ගෙන්වාගෙන කොණ්ඩය කප්පවා ගත්බව මොහු දන්නේ කෙසේද?

"ඊයේ හැන්දෑවේ හයට විතර තමයි හන්දියේ බාබර් ඇවිත් කොන්ඩේ කපලා ගියේ මහත්තයෝ"

මේ අතර මෘත දේහය මරණ පරීක්ෂණයට ගෙනයාමට පිරිස පැමිණිය අතර ඔවුන්ට එම කටයුතු කරගෙන යාමට ඉඩදී තවත් කිහිප දෙනෙක්ගෙන් ශාක්ෂි අසා ගැනීමට දිසානායක ඒ අතර කටයුතු කලේය. ධර්මපාලගේ මිතුරු පෙරේරා සහ සුමනදාසගේ බිරියගෙන් ලත් තොරතුරු වලින් ගත හැකි විශේෂ දෙයක් නැති බව දිසානායකට වැටහිණි.
නිවස තුලට තමන් දැනුම් දෙනතුරු කිසිවෙකුට යාමට ඒමට නොදෙන ලෙස සුමනදසට අණකළ ඉන්ස්පෙක්ටර් වරයා........... සාජන් හේරත්ට සන් කලේ ආපසු පොලිස් ස්ථානයට යාමට සුදනම් වන ලෙසයි.

බලවත් කල්පනාවක නියැලෙමින් ආපසු ගමන් කරන ඉන්ස්පෙක්ටර් දිසානායකගේ නිහඬ බව බිඳිමින් හේරත් හඬ අවධි කළේය.

"සර්...... කොහොමද සර් අර කොන්ඩේ කපන මිනිහෙක් කලින්දා ආවා කියලා කිව්වේ මහා පුදුමයක් නේ ඒක........ අර මිනිහා විතරක් නෙවෙයි මමත් උඩ ගියා ඒක අහලා "............. "ඇත්තටම කොහොමද එහෙම කිව්වේ.........."

"හේරත් දැක්කද ගෙදර ඇතුල තිබුන විදිහ? ගෙට ඇතුල් වෙද්දීම මට තේරුණා මුළු ගෙදරම හොඳට අතු පතු ගාලා තියන බව. මම පුටු මේස අල්මාරි කිහිපයක් අත ගාලා බැලුවා දූවිලි පොදක් නැහැ. හැබැයි මරණේ උන කාමරේ ඇතුලේ දැක්කද දූවිලිනම් නැහැ, හැබැයි කන්නාඩි මේසේ පුරාමයි බිමයි හැම තැනම සුදු කෙස් කොට. ලොකු ඒවා අරන් දාල........ හැබැයි පොඩි කෙස් කොට කාමරේ පුරාම. කොහොමද එහෙම වෙන්නේ........... එක්කෝ කොන්ඩේ කපලා තියෙන්නේ දවසේ සුද්ද බුද්ද කරන වේලාවෙන් පස්සේ නැත්නම් වැඩකාරයෝ ගෙදර නැති වෙලාවක. ඉතින් අර මිනිහා හැමදාම උදේට ගෙදර සුද්ද කරනවානම් ඊයේ හවස් වරුවේ කොන්ඩේ කපන්න ඇති කියලා මම අනුමාන කලා............."

"දැන් පොලිසියට යමු, තව පැය තුන හතරකින් මරණෙට හේතුව දැනගන්න පුළුවන්, අපි බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා......"

"ඩොක්ටර් විජේදාස නේද වැඩේ කරන්නේ? අපි ටෙලිපෝන් කෝල් එක දීලා බලමු"

ස්වභාවික මරණයක පෙනුම ඇතත්, නිවසේ වටිනා දේ කිසිවක් නැතිවී නැති බැව් පෙනුනත් ඉන්ස්පෙක්ටර් වරයාට කුහුල දනවන කාරණා කිහිපයක් තිබිණි.

"හාට් ඇටැක් එකක්.........හැබැයි කිඩ්නි දෙකමත් ෆේල් වෙලා තියන නිසා මට තව පොඩි වෙලාවක් දෙන්න....... හරියටම රිපෝර්ට් එක තව පැය දෙකකින් දෙන්නම් ඉන්ස්පෙක්ටර්"

"හේරත්......... අයිසේ සාජන් හේරත්.......... කෝ මේ මනුස්සයා............ අහ් සාජන් අපි අයෙමත් යන්න ඕනේ ධර්මපාල මහත්තයලාගේ ගෙදර මට තව ටිකක් සුමනදාස එක්ක කතා කරන්න ඕනේ "

අක්කර තුන හතරක් පමණ විශාල වත්තක් මැද පිහිටා ඇති එම නිවස වටා ඇවිදිමින් දිසානායක පරික්ෂාවේ යෙදෙන්නට වුයේ ඉඩම කොනේ පිහිටි සුමනදාසගේ නිවසට ගොස් ඔහු කැඳවාගෙන එන ලෙස සාජන් හේරත් ට අණ කිරීමෙන් පසුවය. ධර්මපාල මහතාගේ කාමරයට ඈඳුණු නාන කාමරයේ ලුවරයේ වීදුරුව බිඳී ඇති බව ඔහුට දක්නට ලැබුනේ ඔහු අසලට සුමනදාස එනවාත් සමගය.

"සුමනදාස මේ වීදුරුව කවදද බිඳුනේ"

"අහ් සර් කලින් නම් බිඳිලා තිබ්බේ නෑ......මමත් ඕක දැක්කේ නම් දැන්, කලින් කැඩුනා නම් මහත්තයා හදන්න කියනවා"

හොඳයි දැන් මට කියනවා පහුගිය දවස් කීපයේ මෙහෙ ආව ගිය කට්ටියගේ විස්තර, දිසානායක මෙසේ විමසූවේ ඉස්තෝප්පුවට ගොඩවෙමිනි.

"පුංචි නෝනා එංගලන්තේ ගියාට පස්සේ මෙහෙට කව්රුත් එනවා හරි අඩුයි මහත්තයා........ අපේ මහත්තයාගේ නෑයෙක් වත් ආවේ කලාතුරකින්. හැබැයි මාසේ අන්තිම දවස් පහේ මහත්තයාගේ වතුපිටි බලාගන්න ලියන මහත්තුරු මෙහෙ එනවා උන්නැහේලට අපේ මහත්තයා එන්න කියලා තියෙන්නේ මාසේ අන්තිම දවස් පහේ ඉතින් එක එක්කෙනා එනවා.........."

"ඒ මිනිස්සු සල්ලි ආදායම් අරන් එනවද?"

"සමහරු සල්ලි අරන් එනවා... සමහරු සල්ලි බැංකුවට දාලා ආදායම් වියදම් කතා කරන්න එනවා..... ඊයේ තිස් වෙනිදනේ.... ඒ හින්දා පහුගිය දවස් ටිකේම ගොඩ දෙනෙක් ආවා ගියා.... ඊයෙත් දෙතුන් දෙනෙක් ආවා මගේ හිතේ.........."

"අර මහ සේප්පුවේ මොනවද තියෙන්නේ? සුමානදාස ඉන්න වෙලාවක මහත්තයා ඕක ඇරලා තියනවද?"

"අපේ මහත්තයට මාව හොඳට විස්වාසයි මහත්තයෝ........මම දැකලා තියනවා ඕක ඇතුල........ සල්ලි තියනවා, අපේ නෝනලාගේ රත්තරන් බඩු, ඉඩකඩම් වල ඔප්පු තිරප්පු මහගොඩක් ඔකේ තියනවා............, ඇයි මහත්තයෝ සේප්පුව හොරු කඩලා නෑ නේද?"

"අපි හිතමු එහෙම.......ඉන්ස්පෙක්ටර් වරයා එසේ කීවේ සාජන් හේරත් දෙස බලාගෙනය"
එය දුටු හේරත් ට ඇති වුයේ මහත් කුහුලකි. සේප්පුවට අත තැබූ බවක් වත් නොතිබුන බව ඔහුට හොඳට මතකය.

"තව මහත්තයා නිතර යන එන තැන් කොහෙද? ලඟදි ගියේ ආවේ කොහෙද?"

"කොහෙවත් නෑ මහත්තයා... ඉඳලා හිටලා පෙරේරා මහත්තයා හම්බවෙන්න යනවා එච්චරයි ....... ටව්මට ගිහින් ගෙදරට බඩු අරන් එන්නෙත් මම"

"හොඳයි පොඩ්ඩක් දොර අරිමු, මට තව ටිකක් පරික්ෂා කරන්න තියනවා"

ප්‍රධාන දොර සුමනදාස විසින් විවෘත කරන ලද පසු ඉන්ස්පෙක්ටර් වරයා කෙලින්ම ගියේ වීදුරුව බිඳී ගොස් තිබූ නාන කමරයටයි. ටික වෙලාවක් එහි බිම ඇඟිලි තුඩින් අතගාමින් පරික්ෂා කල ඔහු ලූවර් ජනේලය හොඳින් පරික්ෂා කොට සුමනදාස ඇමතීය.

"සුමනදාස, සේප්පුව අරින නොම්බර වෙන දන්නේ කව්ද මහත්තයා ඇරුනම?"

"අපේ පුංචි නෝනා දන්නවා මගේ හිතේ"

"හොඳයි මරණේ ගැන පුංචි නෝනට දන්වන්න ඇති නේ නේද?"

"එහෙමයි, මම සෙබස්තියන් මහත්තයා ට, අපේ මහත්තයාගේ මලය ට ටැලිපෝන් කලා.......... ඒ මහත්තුරු කියාවි නෑදෑ මිත්තරයින්ට"

"හොඳයි, හොඳයි දොර වහන්න එහෙනම් අපි යනවා.... ඕනේ උනොත් අයෙත් එනවා......."

"සාජන් අපි කෙලින්ම යමු ඉස්පිරිතාලෙට......... ඩොක්ටර් විජේදාස ලඟට"

ඔවුන් රෝහලට යනවිටත් මරණ පරීක්ෂණය අවසන් වී නොතිබිණි, දොස්තර වරයාගේ අවසරයෙන් ඔවුන්ට පරීක්ෂණ ස්ථානයට යාමට අවසර ලැබිණි.

"Doctor, can't you still officially tell us the cause of death?"

"Yes, I can, it’s because of a heart attack"

"නමුත් දන්නවද කොහොමද එහෙම වෙලා තියෙන්නේ කියලා............... නයි විෂ ඉන්ස්පෙක්ටර්  නයි විෂ...."

"ලේ කැටියක් නිසා හදවත හිරවෙලා තියනවා, එවෙලේම වගේ වකුගඩු දෙකත් නතරවෙලා......... හරියටම මරණේ වෙලා තියෙන්නේ රාත්‍රී 9-10 අතර රෑ කෑම දිරවන්න පටන් අරන්වත් නෑ අසරණ මනුස්සයා"

"හැබැයි ඉන්ස්පෙක්ටර් මම හැම තැනම පරික්ෂා කලා සර්පයෙක් ධෂ්ඨ කරපු තැනක් හොයාගන්න නැහැ..... විෂ රුධිරයට මිශ්‍ර වීමෙන් තමයි මරණය වෙලා තියෙන්නේ..... කැවිලවත් පෙවිලවත් නෙවෙයි"

"ඩොක්ටර් මම පොඩ්ඩක් බොඩි එක බැලුවට කමක් නැද්ද "

"බලන්න බලන්න දැන් අපේ පරීක්ෂණ ඉවරයි..... ඉතුරුවා තියෙන්නේ ඔබතුමන්ලා අතේ" විජේදාස මහතා කීවේ සිනාසෙමිනි.

ලද අවසරයෙන් සිය පැන්සලය සහ නෝට් පොත එලියට ගත්  ඉන්ස්පෙක්ටර් වරයා නිරුවත් මළසිරුර පරික්ෂා කරන්නට විය. සාමාන්‍යයෙන් ඔහුගේ මෙවන් පරික්ෂාවකට පැයක් හමාරක් යන බව දන්නා සාජන් හේරත් ලද අවසරයෙන් පිටතට පැමිණ සිගරට්ටුවක් උරන්නට පටන්ගත්තේය.

"මේක මිනී මැරුමක් අය්සේ.... අපි ඉක්මනට සේප්පුව අරින්න ඕනෑ........... මගේ නිගමනය හරිනම් ඒක ඇතුලේ කිසිදෙයක් තියෙන්න විදිහක් නැහැ"
ඉන්ස්පෙක්ටර් වරයා එලියට ආවේ එසේ කියමිනි.

"අපි මුලින්ම පොලිසියට යන්න ඕනෑ........... ධර්මපාල මහත්තයාගේ කාමරේ තිබුන පොඩි පොඩි බඩු වගයක් අපි අරන් ආවා නේද හේරත්? අන්න ඒවා මට බලන්න ඕනේ"

ශාක්ෂි කාමරයෙන් ගෙන්වාගත් ධර්මපාල මහතාගේ බඩු පරික්ෂා කල ඉන්ස්පෙක්ටර් වරයා...... "විශිෂ්ටයි.....විශිෂ්ටයි මූ නම් යකෙක්" කියා කෑ ගැසුවේය

සාජන් අරන් එනවා අර බාබර්, ධර්මපාල මහත්තයාගේ කොන්ඩේ කපපු එකා...... ඌ තමයි මිනී මරුවා..................

බාබර් වරයා අත්අඩංගුවට පත් වූ අතර ඔහු ඉන්ස්පෙක්ටර් දිසානායක ඉදිරියට පමුණුවනු ලැබිණි.

"කොහෙන්ද නයි විස හොයා ගත්තේ" ඉන්ස්පෙක්ටර් වරයාගේ පළමු ප්‍රශ්නයෙන්ම දැන් ගැලවීමක් නැතිබව බාබර්ට දැනුනි.

"තමුසෙට ඇහුනේ නැද්ද?  කොහෙන්ද නයි විස හොයා ගත්තේ "

"මම දන්න අහිකුන්ඨික මනුස්සයෙක් ගෙන් මහත්තයෝ"

"සාජන් ඔය මිනිහා දානවා කූඩුවට"

දිනකට පසු ධර්මපාල මහතාගේ එකම දියණිය එංගලන්තයේ සිට පැමිණි අතර ඇය ගේ උදව්වෙන් සියලුදෙනා ඉදිරිපිට සේප්පුව විවෘත කරන ලදී. ඉන්ස්පෙක්ටර් වරයා බලාපොරොත්තු වූ පරිදි එතුල කිසිවක් නොවීය.

ඉන්ස්පෙක්ටර් කොහොමද බාබර් මේක කලා කියලා හොයා ගත්තේ හැමෝටම දැනගන්න කියන්නකෝ.......... ඒ ධර්මපාල මහතාගේ සොයුරාගේ හඬ.

"අපි දෙවෙනි පාරට ගියාම මම දැක්කා කාමරයට ඈඳුණු නාන කාමරයේ ලුවරයේ වීදුරුව බිඳීලා තියනවා. ඇතුලෙන් ගිහින් බැලුවම දැක්ක පොඩි පොඩි වීදුරු කුඩු තියනවා හැබැයි ලොකු වීදුරු කටු එකක්වත් නෑ......"

"බිඳුණු තැනින් අත දාලා අගුල පන්නලා ලුවරය අරින්න පුළුවන් කියලත් මම දැක්ක. සාමාන්‍ය සරීරයක් තියන කෙනෙකුට පහසුවෙන් එතනින් රිංගන්න පුළුවන් බවත් මම දැක්කා....."

"හැබැයි මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව ස්වභාවික හේතුවක් කියලා කිය උනානම්, ඒක එහෙම වෙනවා තව අඩු විෂ ප්‍රමාණයක් ශරීර ගත උනානම්. එහෙමනම් අපිට මිනී මරුවා හොයන්න ලේසි වෙන්නේ නෑ........"

"දොස්තර කීවා ශරීරයේ කිසිම ධෂ්ඨ කරපු තැනක් හොයාගන්න නැහැ කියල මම මිනිය පරික්ෂා කරද්දී දැක්කා කන් දෙකට උඩින් පොඩි කැපුම් දෙකක් ඉතාම සියුම් කැපුම් දෙකක් දෙපැත්තේම එකම විදිහට. කොන්ඩේ කපද්දී දැලි පිහියට එහෙම කැපෙන්න පුළුවන්."

"එත් කොහොමද එතනින් විෂ ඇතුල් වෙන්නේ බාබර් ගෑවානම් එතනදීම මැරෙනවා වැඩිම උනොත් විනාඩි 15-20 විතර යාවි. නමුත් එහෙම දෙයක් උනේ නෑ....."

"බාබර් ආවේ හවස හයට විතර කොන්ඩේ රැවුල කපලා ඉවර වෙද්දී හත වෙන්න ඇති. නමුත් මරණය සිද්ධ උනේ රාත්‍රී 9-10 අතර. කොහොමද එහෙම වෙන්නේ"

එසේ පවසමින් ඉන්ස්පෙක්ටර් වරයා බෑගයකින් උපැස් යුවලක් ප්‍රවේශමෙන් පිටතට ගත්තේය.

"පෙනෙනවද මේකේ හැන්ඩ්ල් දෙකේ රෙදි පටි දෙකක් ඔතලා තියනවා"

එය දුටු සුමනදාස, "අපේ මහත්තයාගේ අලුත් කන්නාඩි දෙක.... ඕක දැම්මම කන්දෙක දෙපැත්තෙන් රිදෙනවා කීවම මමයි මාස කීපෙකට කලින් රෙදිපටි දෙකක් ඔතලා දුන්නේ....."

"හරියට හරි මේ රෙදිපටි දෙකම දැන් නයි විෂෙන් පොඟවලා තියෙන්නේ"

"ඒක මෙහෙමයි උනේ අවුරුදු ගානක් තිස්සේ මාස දෙකකට විතර සැරයක් මේ කාමරේට එන බාබර් දකිනවා මහා සේප්පුවක් ඕක ඇතුලේ මහා ධනයක් ඇති බව මිනිහා හිතනවා"

"තුවක්කු ලයිසන් තියන හොඳින් ආයුධ හසුරුවන්න පුළුවන් ධර්මපාල මහත්තයා සටන් කරලා මෙල්ලකරගන්න එක පහසු වැඩක් නොවන වග මිනිහා දන්නවා"

"හැමදාම යනකොට කන්නාඩිය තියෙන්නේ සේප්පුව උඩ, ලඟදි දවසක යද්දී දකිනවා රෙදිපටි දෙකක් ඔතල තියනවා අලුත් කන්නාඩි දෙකක"

"ඇයි සේප්පුව උඩම කන්නාඩිය තියෙන්නේ? සේප්පුව අරිනකොට නොම්මර කීපයක් කරකන්න ඕනේ.....මෙතැනදී නම් පහක්, හරි සියුම් හරි පරිස්සමින් කරන්න ඕනේ..... ඉතින් ධර්මපාල මහත්තයා වගේ කෙනෙක්ට කන්නාඩිය ඕනේ වෙනවා...... හැබැයි මිනිහ කවදාවත් දැකලා නැහැ ධර්මපාල මහත්තයා වෙන වෙලාවල කන්නාඩි පාවිච්චි කරනවා......පාවිච්චි කරනවා ඇති හැබැයි හරි අඩුවෙන් ඒ නිසයි කන්නාඩිය සේප්පුව උඩම ගොඩක් විට තියෙන්නේ"

"අපේ මහත්තයා කන්නාඩිය පාවිච්චි කරනවා අඩුයි පත්තර බලනකොට පාවිච්චි කරනවා"

"හරියට හරි ඒ ගැනත් බාබර් හිතුවා....... ඒ හින්දයි මිනිහා රෑ වෙලා ආවේ කොන්ඩේ කැපුවට පස්සේ අයෙත් කන්නාඩිය වෙන වැඩකට ඕනෑ නොවෙන විදිහට මිනිහා වේලාව හදා ගත්තා "

"මම මිනිහගෙන් අහලා බැලුවා............ අන්තිම ලියනමහත්තයත් ආවට පස්සේ කොන්ඩේ කපන්න ආවේ එදා රෑ අනිවාර්යයෙන් සේප්පුව අරිවී කියලා හිතුවලු"

"ඔව් මහත්තයෝ මම ම දවස් ගානක් තිස්සේ ඔය මිනිහට එන්න කියලා පණිවිඩ අරන් ගියා එත් ආවේ මිනිහට ඕනේ දවසේ....."

"මේක හරිගියොත් හරිගියා වැරදුනොත් වැරදුනා කියලා ගහපු ප්ලෑන් එකක්, මිනිහා ඇවිත් කොන්ඩේ කපන ගමන් කැපුම් දෙකක් දැම්මා කන්දෙක දෙපැත්තේ..... දැලිපිහියට කොහොමත් ගොඩක් වෙලාවට කැපෙන හින්ද ධර්මපාල මහත්තයත් ගණන් ගන්න නැතිව ඇති. කන්නාඩි මේසේ තියෙන්නෙත් සේප්පුව ලඟම හින්දා එලියට ගත්ත කන්නාඩි දෙකේ රෙදිපටිදෙක නයි විෂ තියන භාජනයේ පොඟවා ගන්න මිනිහට වැඩි අමාරුවක් වෙන්න නැතිව ඇති"

"රැට කාලා දොරජනෙල් වහලා කන්නාඩි දෙක දාලා සේප්පුව ඇරපු ධර්මපාල මහත්තයා ගණුදෙනු හරිද කියලා බලන්න ඇති තුවාල දෙක සියුම් උනත් ගැඹුරු හින්දා විස ඇතුල් වෙලා ටික වෙලාවකින් මරණය සිද්ද උනා"

"රෑ දෙකට විතර බාබර් ඇවිත් වීදුරුව බිඳලා අගුල පන්නලා ඇතුලට ආවා. කොන්ඩේ කපලා අතපය හෝදන හින්දා නාන කාමරෙන් එන්න පුළුවන් බව මිනිහ කලින් ඉඳලම දැනගෙන හිටිය"

"ඇතුලට එද්දිම හිතපු විදිහටම වැඩේ වෙලා ඇතිබව දැනගෙන, ගන්න පුළුවන් හැමදේම අරගෙන සේප්පුව වහලා මිනිහා යන්න ගියා........"

"හෙට නඩුව, මිනිහ  අයෙත් එලියට එනවා බොරු. මිනිහා ගස් තමයි"  

9 comments :

  1. කලකට පස්සේ මේ වගේ කතාවක් ආසාවෙන් කියෙව්වේ , නියමයි මචෝ !

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ඉස්තුති

      Delete
  2. මේ වගේ කතා කව්රුත් ලියන්නේ නෑ නේ..... හරි අඩුයි. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි.... තව ලියන්න බලමු

      Delete
  3. Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි

      Delete
  4. ලස්සනට කථාව ගොතලා තියනවා. අන්තිම වෙනකම් කිසි දෙයක් හිතාගන්න බැරි වුණා.

    ReplyDelete