මගේ හිතවතෙක්, ගෙදර ඔහුගේ බිරිඳගේ අල්මාරිය ඇර එහි අයගේ යට ඇඳුම් බහාලූ ලාච්චුවකින් සිල්ක් කඩදාසියකින් මනා ලෙස එතූ පාර්සලයක් එලියට ගත්තේය. "මේක සාමාන්‍ය පාර්සලයක් නෙවෙයි විශේෂ පාර්සලයක්...." යයි කියමින් ඔහු එය දිගහැරියේය. එහි වූයේ වැඩ දැමූ, වර්ණවත්, අලුත්ම අලුත් ලස්සන සිල්ක් යට ගවුමකි. ඔහු ඒ ගවුම දෙසද එය අඩංගුව තිබූ හුරුබුහුටි කාර්ඩ්බෝඩ් පෙට්ටිය දෙසද ඔතා තිබූ කොලය දෙසද බලා සිටියේය.
"අවුරුදු 8 කට 9 කට ඉස්සර අපි ඉස් ඉස්සෙල්ලම නිව්යෝක් ගිය වෙලාවෙයි ය මේක ගත්තේ.... කවදාවත් ඇන්දේ නෑ..."
විශේෂ අවස්ථාවක අඳිනවා කියලා, සාප්පුවෙන් ඔතල දුන්න විදිහටම ගෙදර ගෙනැවිත් මේ අල්මාරියේ අරන් තිබ්බා.....මම හිතන්නේ දැන් ඉතින් මේ තමයි අවස්ථාව....වෙන අවස්ථාවක් එන්නේ නෑ.... ඔහුගේ හඬ ඉතා දුක්මුසු විය.
අවමංගල ශාලාව වෙත ගෙනයාම පිණිස ලැස්ති කල අනෙක් ඇඳුම් පැළඳුම් සමග ඇඳ මත ඒ පර්සලයද තැබිණි. ඔහුගේ ආදරණීය බිරිඳ මියගියේ ඊට මොහොතකට පෙර ය.
"විශේෂ අවස්ථාවකට කියල කිසි දෙයක් වෙන් කරලා තියන්න එපා..." ඔහු මා දෙස බලා කීය.
"ජීවිතේ හැම මොහොතක්ම විශේෂ අවස්ථාවක් බව සිතන්න...."
ඔහුගේ එවදන් මගේ ජීවිතය දැඩි ලෙස වෙනස් කළේය. දැන් මම හුඟක් කියවමි. ගේ අස්පස් කිරීම අඩුවෙන් කරමි. කිසිවක් ගැන දුකක් සංකාවක් නැතිව දොරකඩ වාඩිවී සිටින්නට දැන් මට හැකිය. රැකියාවේ ගත කරන කාලයට වඩා දැන් මම පවුලේ අය සමග ගත කරමි.
ජීවිතය යනු කෙසේ හෝ ගෙවා දැමිය යුතු දෙයක් වශයෙන් නොව ජීවත් වීමට අවශ්‍ය අත්දැකීම් බිහිවන අපූර්ව උල්පතක් සේ දැන් මම වටහාගෙන සිටිමි. කිසිවක් තබාගෙන සිටින සිරිතක් දැන් මගේ නැත. වෙනදා හැඩට අරගෙන තැබූ ඔප දැමූ පලිඟු වීදුරු, දැන් දිනපතා මම බීම සඳහා පාවිච්චි කරමි. වෙළඳ පොලට යන්නේ ද අලුත් ඇඳුම් ඇඳගෙනය. මා සතුව ඇති වටිනා සුවඳ විලවුන් දැන් විශේෂ අවස්ථා සඳහා යයි වෙන් කිරීමක් නැත. අවශ්‍ය යයි සිතුණු විට ඒවා තවරා ගනිමි.
'යම් දවසක', 'විශේෂ අවස්ථාවක', 'මතු දවසක' යන වදන් මගේ ශබ්ධ කෝෂයෙන් දැන් මැකී යමින් පවතී. බැලිය යුතු, ඇසිය යුතු, කෙරිය යුතු යමක් ඇත්නම් පසුව නොවේ, ඒවා දැන් මේ මොහොතේ කල යුතුය.
තමා පසු දින උදෑසන වන විට නොමැති බව මගේ මිතුරාගේ බිරිඳ දැන සිටියානම් ඇය කුමක් කරනු ඇත්දැයි මම නොදනිමි. කිසිවෙකුට එය කිව නොහැකිය. ඇයගේ නෑදෑයින්ටද, කිට්ටුම හිතවතුන්ටද අඬ ගසනු ඇතැයි මට සිතේ. පැරණි හිතවතුන් අමතා කලින් සිදුවූ දබර හෝ, යම් යම් වැරදි හිත රිදවීම් ඇත්නම් ඒවාට සමාවන්න යයි කියනවා ඇත.
යාමට ඉතා ප්රිය වූ චීන හෝ වෙනත් කිසියම් අවන් හලකට යන්නට සිතනු ඇත. මටද එලෙස හදිසියේ නික්ම යන්නට සිදුවූවා නම් මා තැවෙන්නේ ද එවන් සුළු සුළු දේවල් කලින් කර ගන්නට බැරි වීම ගැනය. මට දැඩි දුකක් දැනෙනවා ඇත. මගේ යහළුවන් නැවත දකින්නට නොලැබේ. 'හෙට අනිද්දා දවසක ලියනවා' යයි හැම විටම මා කියා කියා සිටි, සිතාගෙන සිටි ලියුම් කිසිවක් ලියන්නට මට නොහැකිවිය. පසුවට ගන්නවා යයි සිතා සිටි දුරකථන ඇමතුම් ගැනීමට මට නොහැකිවිය. පසු දවසක බලන්නට යනවා යයි මා සිතා සිටි නෑදෑයින්, මිතුරන් බැලීමට යාමට මට නොහැකිවිය.
වඩාත්ම මා දුක් වන, පසුතැවෙන කරුණ වන්නේ මගේ සොහොයුරු සොහොයුරියන්ට ද, මගේ පවුලේ අයටද මා කොතරම් ආදරේ දැයි මට කියාගන්නට බැරි වීම ගැනය.
එබැවින් ඉතිරි කෙටි කාලයට සතුට, සිනහව, ප්රීතිය දනවන ඉතා සුළු දේවල් පවා කිසිවක් දැන් මම අතපසු නොකරන්නෙමි. ප්රමාද නොකරන්නෙමි. හැම උදසනකම අද විශේෂ දවසක් විය හැකියැයි මම මටම කියා ගන්නෙමි.
හැම දවසක්ම, හැම පැයක්ම, හැම විනාඩියක්ම විශේෂ වේ. මේ ජීවිතයේ විශේෂ නොවන මොහොතක් නැත. එය ලබන වසර නොවේ, ලබන මාසය හෝ ලබන සතියද නොවේ. හෙට දවසද නොවේ. ඒ දැන් ය. මේ මොහොතය. සෑම සියලු දෙයම සිදුවිය යුත්තේ දැන් ය.
හැම දවසක්ම, හැම පැයක්ම, හැම විනාඩියක්ම විශේෂ වේ. මේ ජීවිතයේ විශේෂ නොවන මොහොතක් නැත. එය ලබන වසර නොවේ, ලබන මාසය හෝ ලබන සතියද නොවේ. හෙට දවසද නොවේ. ඒ දැන් ය. මේ මොහොතය. සෑම සියලු දෙයම සිදුවිය යුත්තේ දැන් ය.
(මෙය විද්යුත් ලිපියක සිංහල පරිවර්තනයකි. අයිතිය මුල් රචකයා සතුය)
No comments :
Post a Comment