Saturday 26 September 2015

වෙඩි හඬ - 2



වෙඩි හඬ - 1 කොටස මෙතැනින්

දිවාකර සිදුකල එම ප්‍රකාශයත් සමග කාමරයේ සිටි සියලුදෙනා පුදුමයට පත් වූ බැව් දක්නට ලැබිණි. ප්‍රසිද්ධ රහස් පරීක්ශකයෙක් වන ඔහු කරන මෙම ප්‍රකාශය පිලි නොගන්නා කෙනෙක් මෙතැන නැත, නමුත් ඔවුන් පුදුම වන්නේ තමන් දුටු කරුණු අනුව මෙය බරවන්නේ මිනී මැරුමක පැත්තට නොව දිවි නසාගැනීමක පැත්තට වන නිසාය. ඉන්පසු නිවසේ දුරකථනය වෙත ගිය ඔහු එහි රිසීවරය ඔසවා ඇමතුමක් ගන්නා බවත් කිසියම් දෙයක් සටහන් කරගන්නා බවත් දක්නට ලැබිණි. ඉන්පසු පොලිස් නිලධාරියා ඇමතූ ඔහු,

"ජයසුරිය, මම ටෙලිපෝන් එක රි-ඩයල් කලා....අන්තිමට කෝල් කරලා තියෙන්නේ ටැක්සි කොම්පැනියකට. ටැක්සියක් ගෙන්නලා තියනවා අද උදේ හයට විතර. මෙන්න මේ නම්බර් එක තියන ටැක්සිය හොයා ගන්න ඩ්‍රයිවර් ගේ නමත් තියනවා, ඊට පස්සේ අමාරු වෙන එකක් නැහැ උදෙන්ම මෙහෙන් පිටවෙලා ගිය නෝනා ගැන විස්තර ටිකක් හොයා ගන්න, හැබැයි අපි ඉක්මන් කරන්න ඕනෑ......බොඩි එක මරණ පරීක්ෂනේට යවන්න, ගෙදර සීල් කරන්න, අපි ඉක්මනට මේ නෝන ව හොයාගන්න ඕනෑ...."

මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවස පසුපස විල්ලුවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයා ගෙන්වූ බව දිවාකරයන්ට දන්වනු ලැබිණි. ඒවනවිටත් පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ බැවින් ආම්පන්න හකුලා ගැනීමේ කටයුතු මඳකට නතරකල ඔහු අදාල පුද්ගලයා හමුවීමට නිවසෙන් පිටතට පැමිණියේය. කළු, හීන්දෑරි තරමක වයස්ගත ගැමියෙකු වූ ඔහු, කඩමලු සරමක් පමණක් ඇඳ උඩුකය නිරුවත්ව සිටියේය. බුලත් කහට බැඳුනු දත් පෙන්වමින් තනිවම සිනාසෙමින් සිටි ඔහු වෙත ගිය දිවාකර කතාව ආරම්භ කරනු දක්නට ලැබිණි.

මාළු බෑමට ඔහු පැමිණි වෙලාව හෝ වෙඩි ශබ්ද ඇසුණු වේලාවන් පිලිබඳ තොරතුරු නිවැරදිව ඔහුගෙන් දැන ගැනීම අපහසු බව දිවාකරට පෙනිණි. කෙසේ උවත් වෙඩි ශබ්ධ දෙක අතර අවම තරමින් අඩ පැයක වත් වෙනසක් ඇතිබව කතාබහෙන් වැටහිණි.
'දෙවැනි සද්දේ කන ලඟින්ම වගේ ඇහුනේ මහත්තයෝ....' මෙය ඔහුට හිතන්නට බොහෝ දේ ඉතිරි කළේය. වෙඩි ශබ්ධ දෙකක් යනු ඉතා වැදගත් ශාක්ෂියකි. නමුත් කාමරයේ තිබුණු ගිනි අවියෙන් පිටව තිබුනේ එක් උණ්ඩයකි. 'මේ මිනිහා කියන්නේ ඇත්තක්ද? ඇත්තක් නම් අනෙක් වෙඩිල්ල තැබුවේ කව්ද?', 'ඒ ඇයි ?', 'දෙවැනි ශබ්ධය ගැන ඔහු විශේෂයක් දක්වන්නේ ඇයි?' තමන් ඉදිරියේ නූල් බෝලයක් මෙන් පැටැලුණු සිද්ධි දාමයක් ඇති බැව් දිවාකරට පෙනේ. කෙසේ හෝ නිවැරදි කොන සොයාගතහොත් මෙය ලෙහා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.

******

දුරකථන ඇමතුමක් දී අදාල කුලී රථ රියදුරා සොයා පොලිසියට ගෙන්වන ලෙස ගම්පහ පොලිසියෙන් ඉල්ලා සිටි පොලිස්පරීක්ෂක ජයසූරිය, දිවාකර නැගුණු රථයටම ගොඩවූ අතර ඔහුට උදක්ම අවශ්‍යවුයේ මේ අරුම පුදුම රහස් පරීක්ෂකයා සිය නිගමනයන්ට කෙසේ එළැඹුනා දැයි දැනගැනීමය. රථයට නැගුනු ඔහු ආසන පටි පලඳිමින් සිය කටහඬ අවධි කළේය.

"ඒක නෙවෙයි දිවාකර මහත්තයා... කොහොමද අර කිව්වේ මේක මිනීමැරුමක්, තව කෙනෙක් මේ ගෙදර ඊයේ රෑ හිටියා කියලා..... ඒක කිව්වා කියමු. එත්......., කොහොමද කිව්වේ ගෑණු කෙනෙක්ම හිටිය කියලා......... හරි පුදුමයි, හරි පුදුමයි.......... "

"ඒ විතරක් නෙවෙයි ජයසුරිය, මේ කියන ගෑණු කෙනා අපේ රටේ කෙනෙක් නෙවෙයි කිව්වොත් පුදුමය තව වැඩි වේවිද? " දිවාකර එසේ ඇසුවේ හඬනගා සිනා සෙමිනි. පොලිස් නිලදරුවා එය අසා පුදුමයෙන් පුදුමයට පත් වූ බව දක්නට ලැබිණි.

"මෙහෙමයි, අපි පලවෙනි කාරණේ ගනිමු. දැක්කද උන්ඩේ ඇතුළුවෙලා තිබුන තැන? හරියටම දකුණු කනට අඟල් දෙකක් විතර උඩින්. උන්ඩේ පිටවෙලා තියෙන්නේ වම් කනට පහලින්. අපි උපකල්පනය කරමු මිනිහ නුහුරු අතින් ඒ කියන්නේ දකුණු අතින් වෙඩි තියා ගත්තමයි කියලා. එහෙම උනානම් උන්ඩේ පිටවෙන්න ඕනේ  ගොඩක් වෙලාවට සමාන්තරව අනෙක් පැත්තෙන්. තමන්ටම වෙඩි තියාගන්න කෙනෙක් මේ තරම් අමාරු ඉරියව්වකින් උණ්ඩයක් ඇතුල් කර ගනී කියල හිතන්න බැහැ. උඩ ඉඳන් පහලට උන්ඩේ යන විදිහට? කොහෙත්ම වෙන්න බෑ..........."

"මෙතන උන්ඩේ ඇතුල්වෙන තැනයි පිටවෙන තැනයි අතර තියන ඈන්ගල් එක අනුවයි, පුටුවේ උස අනුවයි මට කියන්න පුළුවන් මිනී මරුවා අඩුම තරමේ අඩි හයක් වත් උස කෙනෙක් !! ඔව් මගෙ උපකල්පන ඔක්කොම හරි නම් බොහොම උස කෙනෙක් වෙන්න ඕනෑ......... "

"අනිත් කාරණේ.......... ගෙදර හිටපු කෙනා ගෑණු කෙනෙක් කියන එක, ඒක කොහොමද කිව්වේ........"

"මම නිදන ඇඳ, ඒ වගේම ඇතිරිලි පරික්ෂා කලා........ ඒකේ තිබ්බා ටිකක් මිල අධික කාන්තා විලවුන් සුවඳක්, සමහර සෙන්ට් වර්ග ගෑවුනාම දවස් ගනං සුවඳ තියනවා තමයි, හැබැයි ඇඳ ඇතිරිලි දාලා තියෙන්නේ බොහෝවිට ඊයේ......... ඉතින් උපකල්පනය කරන්න පුළුවන් සෙන්ට් ගෑවුනේ ඊයේ කියලා. ඇඳ ඇතිරිලි බැලුවම ඒවා  බොහෝම අලුත්. සේදුම් කුඩු සුවඳ ඉතා හොඳින් තියනවා............ඇතිරිලි පාවිච්චි නොකලොත් ඇරෙන්න සේදුම් කුඩු සුවඳ තියෙන්නේ වැඩිම උනොත් දවස් දෙකක් විතර. ඒකෙ බ්‍රෑන්ඩ් එක කියන්න ඕනේ නැහැනේ..." දිවාකර එසේ කීවේ සිනහසෙමිනි.

"අනිත් එක අපේ රටේ නෑ නොවැ දිග රත්තරන් පාට කෙස් තියෙන නෝනලා..........මට ලැබුණා දිග රන් පාට කෙස් ගස් කීපයක්ම ඇඳේ තිබිලා....... හොඳින් බැලුවම පෙනෙනවා මේවා ස්වභාවික රන් පාට කෙස් කියලා.....  අහ් තව දෙයක් කියන්න බැරි උනා.........ලා තැඹිලි පාටට හුරු රතු තොල් සායම් පාවිච්චි කරලා...... රුපලාවන්‍ය කටයුතු කරගෙන තමයි ඒ නෝනා ගිහින් තියෙන්නේ........."

නිලධාරියා තව තවත් පුදුම වෙනු දුටු දිවාකර,
"හරි හරි ඒවා කිව්වේ මෙහෙමයි. බාත්රූම් එකේ කන්නාඩිය ළඟ හොඳින් බැලුවොත් පෙනෙයි රුපලාවන්‍ය උපකරණවලින් වැටුන සියුම් කුඩු.....ඒ වගේම වැඩිපුර ගෑවුණු තොල් සායම් පිහදමපු ටිෂු කඩදාසියක් තිබ්බා බාත්රූම් එකේ කුණු කූඩේ............බොහොම කිට්ටු හිතවත් කමක් තියෙන කෙනෙක් වගේ........."

******

පොලිස් පරීක්ෂක වරයාගේ ජංගම දුරකථනය නාද වූ අතර, පණිවිඩයෙන් කියවුනේ අදාළ කුලී රථ රියැදුරා පොලිසියට ගෙන්වාගෙන ඇති බවය.

"සර් ටැක්සි ඩ්‍රයිවර් පොලිසියට ගෙනල්ලා........ අපිට ඕනේ නම් යනගමන්ම මිනිහට කතා කරලා යන්න පුළුවන්"

"ඔව් ඒක හොඳයි අපි මෙහෙමම යමු"

ඔවුන් පොලිසියට යනවිට රියදුරා තරමක නොසන්සුන් බවකින් සිටින බව දක්නට ලැබිණි. වයස අවුරුදු තිස්පහක හෝ හතළිහක පමණ පෙනුමැති, උස හැඩිදැඩි සිරුරක් ඇති ඔහු ඇවිදින ආකාරයෙනුත්, හිටගෙන ඉන්නා විලාසයෙනුත් ආරක්ෂක අංශ පුහුණුවක් ලැබූවෙක් වියයුතු බව දිවාකරට සිතිණි. අවශ්‍ය වන්නේ විස්තර කීපයක් දැනගැනීම පමණක් බව සැලකර සිටීමෙන් පසු ඔහු සන්සුන් විය.

"අද උදේ මෙන්න මේ ඇඩ්රස් එකෙන් කෙනෙක්ව ගන්න ගියාද" රියදුරාට ලිපිනය ලියු කොලයක් පෙන්වමින් දිවාකර ප්‍රශ්න කිරීම ඇරඹුවේය.

"ඔව් සර්, උදේ හය හමාරට විතර"

"කාවද එතනින් ගත්තේ"

"සුදු උස නෝනා කෙනෙක්, කතා බහෙන් තේරුණ විදිහටනම් ඇන්ඩ්රු මහත්තයාගේ නෝනා........."

"වයස කීයක විතර කෙනෙක්ද?"

"අවුරුදු තිස්පහක් විතර ඇති"

"කලින් ඉඳලා ඒ මහත්තයා දන්නවද?"

"ඒ මහත්තයා ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්නේ මගෙත් එක්ක, අපේ ඩ්‍රයිවර් ලා කාටවත් එහෙමකට ඉන්ග්‍රීසි කතා කරන්න බැරි හින්දා, මුල ඉඳලම ඒ මහත්තයා එක්ක ගමන් බිමන් යන්න වාහනයක් ඕනෑ උනාම කොම්පැනියෙන් යැව්වේ මාව. ඉතින් දැන් අවුරුද්දක් විතර තිස්සේ ඉඳලා මම තමයි යන්නේ"

"මීට කලින් අන්තිමට ගියේ කවද ද?"

"මීට දවස් තුනකට විතර කලින්"

"දවස් තුනකට කලින් !!, එතකොට නිතර යන එන තැන් තියනවද? "

"ඔව් සර්, හැම සෙනසුරාදාම වගේ කොළඹ ක්ලබ් එකට යනවා....., මම ගිහින් දානවා උදෙන්ම. තව ඉඳහිට බැංකුවට, තව........ වෙන සාමාන්‍ය ගමන් යැවෙනවා......."

"ක්ලබ් එකට ගියාම අපහු එක්ක එන්නත් යනවද?"

"ආපහු එන්නේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ, මම කරන්නේ ගිහින් දානවා විතරයි"

"එතකොට අද උදේ මොකද උනේ කියලා පොඩ්ඩක් කියමුද?"

"ඊයේ රෑ වැඩ කරපු හින්දා අද උදේ හතට මට ඕෆ් වෙන්න තිබ්බේ.... එත් හදිස්සියෙම අපේ ඔෆිස් එකෙන් කතාකරලා මට ඇන්ඩ්රු මහත්තයලගේ ගෙදරට යන්න කිව්වා.........කොහොමත් එහෙට යන්නේ මම හින්දා වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම  හය හමාර වෙද්දී එතනට ගියා...............වෙනදා වගේ ගමන යන්න ආවේ මහත්තයා නෙවෙයි............ඉක්මනට වාහනේට නැගපු ඒ නෝනා එයාර්පොර්ට් එකට ගිහින් දාන්න කිව්වා......... "

"මොනවා...............එයාර්පොර්ට් එකට!!!!! මේ ගෑනි රටෙනුත් පැන්නද?"


මතු සම්බන්ධයි

Thursday 24 September 2015

වෙඩි හඬ - 1





"දිවාකර, පොලිසිය කියන විදිහටනම් මේක දිවි නසා ගැනීමක්. හැබැයි මේ මැරිලා ඉන්නේ ඇමරිකන්කාරයෙක්. ඇත්තම කිව්වොත් ඇමරිකන් ආණ්ඩුව සහ අපේ ආණ්ඩුව එකතුවෙලා කරපු පරීක්ෂණයක් මෙහෙයවපු මහ මොළකාරයන් දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ....."

"අනිත් කෙනා අපේ කෙනෙක්. මට තියන බලතල අනුව අපේ රටේ කෙනාගේ නමත් මේ පරීක්ශනේ ගැනත් හෙළිකරන්න බැහැ, එයාගේ සහ රටේ ආරක්ෂාවට. මේ මැරුණ කෙනා දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ කියලා එයා තමයි මට දැනුම් දුන්නේ...ඊට පස්සේ තමයි නිලධාරියෙක් යවලා විස්තර දැනගත්තේ."

"මේ දෙන්නා කරපු පරීක්ෂණය ගැන අපේ රට පැත්තෙන් දැනගෙන හිටියේ මමත් ජනාධිපති තුමත් විතරයි, මේක එතරම් රහස්‍ය පරීක්ෂණයක්. ජනාධිපති තුමාගේ අවසරය ලැබුනොත් මට පුළුවනි තව විස්තර හෙළිකරන්න."

"ඉතින් මේකට විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ඉල්ලුවා...... හරියටම උනේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ.... අවශ්‍ය හැම තැනකටම මම ඉන්ෆොර්ම් කරලා තියෙන්නේ ඔයා මේ කෙස් එක බලනවා කියලා...... මොනවහරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරන්න. අවශ්‍ය ඩීටේල්ස් මම දැන් ඊ -මේල් කරනවා.....දැනටමත් ඉන්ස්පෙක්ටර් ජයසුරිය එක්ක ස්පෙෂල් යුනිට් එකක් එතන ඉන්නවා......."

"ආ.....මතක තියාගන්න...... දිස් ඊස් ටොප් සීක්රට් ඇන්ඩ් හැස් ටොප් ප්‍රයෝරිටි ඕකේ........."

"ඕකේ සර්......මම දැන්ම පිටත් වෙනවා....."

******

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශකයෙක් මෙන්ම ශ්‍රී ලංකා රහස් පොලිසියට අනුයුක්ත විශේෂ අපරාධ විමර්ෂණ ආයතනයෙහි (SCID) ප්‍රධාන නිලයෙක් වන දිවාකර දිසානායක යනු 70 ව දශකයේ නමගිය රහස් පරීක්ෂකයෙක් වූ ඇලන් දිසානායකගේ එකම දරුවාය. 
විදේශ උසස් අධ්‍යාපනයෙන් පසු වසර කිහිපයක් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව
සේවය කල ඔහුට සිය මව් බිමට සේවය කිරීමට ඇරැයුම් ලැබුනේ ආරක්ෂක ලේකම් වරයාගේ මැදිහත් වීමෙනි. සිය සුවපහසු රැකියාව හැර දමා උදක්ම සිය මව්බිමට ඔහු පැමිණියේ දැනට විශ්‍රාමිකව සිටින සිය පියාගේ බලවත් ඉල්ලීම නිසාවෙනි.

වසරකට පෙර තරුණ දිවාකරයන් හා ඔහුගේ පියා අතර ඇතිවූයේ මෙවන් දුරකථන සංවාදයකි,

"පුතා..... ඔයාට ටික කාලෙකින් ඕනෙම රටක පහසුවෙන් රැකියාවක් හොයා ගන්න පුළුවන්, හැබැයි මම කැමතියි අවුරුදු කීපයක් අපේ රටට සේවයක් කරනවා නම්. ආරක්ෂක ලේකම් තුමත් මගෙන් කීප සැරයක් ඔයා ගැන ඇහුවා.......බැරිද ඇහුවා ඔයාව මෙහෙට ගෙන්නන්න. එතුමාගේ හොඳ දැක්මක් තියන බව පෙනෙනවා....මෙහෙ ආවොත් ඔයාට හොඳ තැනක් ලෑස්ති කරලා දෙන්නම් කීවා."

රැකියා මාරුව තමන් කල මෝඩ වැඩක් ලෙස දිවාකර මුලින් සිතුවත් කල් යනවිට ඔහුට ලැබුණු ඉතා අසීරු පරීක්ෂණත් ඒවායේ ඇති විවිධත්වයත් නිසා දැන් තමන් ඇමරිකාවට වඩා සිය මව් රටේ සේවය කිරීමට වඩා කැමති බව ඔහුට දැනේ. සිය මෙහෙයැවීම නිසා වලක්වාගත් ප්‍රභූ ඝාතන උත්සාහ කිහිපයකුත්, තවත් දරුණු ත්‍රස්ත ප්‍රහාර කිහිපයකුත් නිසා රටේ මුල් පුරවැසියාගෙන් ඔහුට ලැබුණු ප්‍රසංශා ඔහුට ගෙන එන්නේ මහත් අභිමානයකි.

******

ආරක්ෂක ලේකම් වරයාගෙන් ලත් තොරතුරු අනුව අදාල මරණය සිදුවූ ස්ථානය ඇත්තේ අගනුවර සිට කිලෝමීටර් පනහක් පමණ දුරින් පිහිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නොවූ ප්‍රදේශයකය. පැයක පමණ ගමනකින් පසු එහි ලඟා වීමට දිවාකරට හැකිවිය. ගම්පහ නගරය පසුකර කිලෝමීටර් පහලවක් පමණ ගිය තැන, පසුපසින් ඇති කුඩා විල්ලුවකට මායිම් ව පිහිටා ඇති ඉඩම මැද මධ්‍යම ප්‍රමාණයේ නිවස ගොඩනංවා තිබිණි.

"ආ.... දිවාකර මහත්මයා, අපිට ඉහලින් පණිවිඩය ලැබුණා ඔබතුමා එන බවට. මේ කේස් එක කොළඹින් හැන්ඩ්ල් කරන්නේ ලේකම් තුමාගේ විශේෂ ඉල්ලීමකට. අපි යමු ඇතුලට. දැනටමත් අපේ කට්ටිය ඇතුලේ පරීක්ෂණ කරනවා........ මෙහෙන් එන්න."  ඔහු පිළිගත් පොලිස් පරීක්ෂක ජයසුරිය, තරමක් දිගු කොරිඩෝවක් දිගේ ගොස් විශාල කාර්යාල කාමරයකට කැඳවා ගෙන යන ලදී.

"ජයසුරිය කිසිම පිට කෙනෙක් වත්ත ඇතුලට ගන්න එපා......වාහනයක් වත්."  

"ඕකේ සර්, අපිත් වාහන පාරේ නවත්තලා ආවේ...."

"ඔව් ඒක හොඳයි අපිට හැම තැනම කිසිම වෙනසක් නොවී පරික්ෂා කරගන්න ලැබුනොත් වැඩේ ලේසියි."

මින් පෙර දිවාකරයන් සමග අපරාධ පරීක්ෂණ කිහිපයක යෙදී ඇති පොලිස් පරීක්ෂක ජයසුරිය, ඔහු දැකීමෙන්ම මෙය කිසියම් විශේෂිත පරීක්ෂණයක් විය යුතු බව වටහා ගත්තේය. ආරක්ෂක ලේකම් තුමා පවුද්ගලිකව මෙය සොයා බලන්නේත්, දිවාකරයන් මෙයට අනුයුක්තව ඇත්තේත් එනිසා විය යුතුය.

"මිනිහ ක්‍රිකට් කාරයෙක් වගේ නේද?" දිවාකරගේ එම ප්‍රශ්නය මතුවුයේ නිවාසට ඇතුළුවන තැනම බිම දමා තිබූ ක්‍රිකට් ආම්පන්න දැකීමෙන් වියයුතු බව ඉන්ස්පෙක්ටර් ජයසුරියට සිතිනි.

"ඔව් මේ මැරිලා ඉන්නේ ඇන්ඩ්රු ෆිලිප්ස් කියලා කෙනෙක්. සති අන්ත වල කොළඹ ක්ලබ් එකක සෙල්ලම් කරනවලු"

"පුදුමයි ක්‍රිකට් ගහන ඇමරිකන් කාරයෙක් !!"

විශාල කාර්යාල කාමරයේ කොනකට වන්නට ඇති කාර්යාල මේසය අසල පුටුවෙහි පසෙකට ඇලවුණු මළ සිරුර තවමත් දක්නට ඇත. ඔහු සාමාන්‍ය ඇමරිකානුවෙකුට වඩා තරමක කුඩා ශරීරයක් ඇති මැදිවියේ පුද්ගලයෙකි. රාත්‍රී නිදන ඇඳුමින් සිටින ඔහුගේ හිසෙහි  දකුණු කනට අඟල් දෙකක් පමණ ඉහලින් ඇතුළුවූ වෙඩි උණ්ඩය වම් කනට පහලින් පිටවී ඇත. ඔහුගේ අතින් ගිලිහී වැටුණු බව පෙනෙන පිස්තෝලය ඔහුගේ දකුණු අත අසල බිම දක්නට ලැබිණි. එම නිවසෙහි ඔහු තනිව ජීවත් වූ බව හා වැඩිපුර කිසිවෙක් නිවසට ආ ගිය බවක් දක්නට නැතිබව දැනගන්නට ලැබිණි. පොලිස් ජායාරූප ශිල්පියාට යම් සලකුණු පෙන්වමින් ඒවායේ ජායාරුප ගන්නා ලෙස සන් කල දිවාකර, තම කලිසම් සාක්කුවෙන් ඇදගත් නෝට් පොතෙහි කිසියම් සටහන් යොදමින් අවට පරික්ෂාවේ යෙදිනි.

"අපි හැම දෙයක් ම වගේ චෙක් කලා. සැක කරන්න කිසිදෙයක් නැහැ. පෙනෙන්නේ මේක දිවි නසා ගැනීමක් වගේ." ඉන්ස්පෙක්ටර් වරයා කීය.

"ජයසුරිය, පිස්තෝලේ ෆින්ගර් ප්‍රින්ට් චෙක් කලාද?"

"ඔව්, මේක මිස්ටර් ඇන්ඩ්රුගේ පිස්තෝලෙ, ලාච්චුවේ තිබුණා ලියකියවිලි. ෆින්ගර් ප්‍රින්ට් හරියටම මැච් වෙනවා....."

රබර් අත්වැසුම් දෙකක් ඉල්ලා එය පැළඳගත් දිවාකර, ප්‍රමාණයෙන් කුඩා පිස්තෝලය අතට ගෙන එය පරික්ෂාවට ලක් කලේය. "ආ... මේක M1911 කියලා වර්ගයක්. මේ බ්‍රෑන්ඩ් එක ඇමෙරිකාවේ හදන්නේ.........ඇමරිකන් මිලිටරි වලත් පාවිච්චි කරන දියුණු කරපු එකක්. සැහැල්ලුයි, කුඩයි, ගොඩක් පවර්ෆුල්"

පිස්තෝලයේ මැගසීනය ඉවත්කළ ඔහු, එහි ඇති උණ්ඩ සියල්ල මේසය මතට හෙළුවේය.

"සැක කටයුතු මොනවා හරි දැක්ක හරි වෙඩි සද්දේ ඇහුනු හරි මිනිස්සු ඉන්නවද ජයසුරිය?"

"මම සාජන් කෙනෙක් යවලා හැම තැනම බැලෙව්වා සර්..... කිට්ටුව පාත ගෙවල් නැති නිසා කාටවත් ඇහිලා නැහැ..... හැබැයි පිටිපස්සේ තියන විල්ලුවේ මාළු අල්ල අල්ල හිටිය මනුස්සයෙක් කියනවා ඒ මිනිහට වෙඩි සද්ද දෙකක් අහුනලු. ගමේ මිනිස්සු කියන්නේ ඒ මිනිහා ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්න ටිකක් ඔලුව හොඳ මදි මිනිහෙක් ලු. කියන දේවල් විස්වාස කරන්න අමාරුයි ලු"

"මොනවා වෙඩි සද්ද දෙකක් !! මැගසීන් එකේ අඩුවෙලා තිබ්බේ එක උණ්ඩයයි නේ............ඒ මනුස්සයා ගෙන්නන්න මට කතා කරන්න ඕනෑ........."

"උන්ඩේ ගිහින් තියෙන්නේ ඔලුවේ දකුණු පැත්තෙන්, හැබැයි මිනිහා වමත් කාරයෙක් !!......... "

දිවාකරගේ මුවින් පිටවුනු එම වදන් ඇසීමෙන් පොලිස් පරීක්ෂක වරයා මඳක් පසුබා ගිය බව පෙනිණි.

"ජයසුරිය දැක්කද අර දොර ළඟ තිබ්බ ක්‍රිකට් ග්ලව් දෙක?..... ඒකෙ හැටියට මිනිහා වමත් කාරයෙක්"

"ඒත් වමට සෙල්ලම් කරන දකුණත් කාරයෝ කොච්චර ඉන්නවද?" ජයසුරිය එසේ කීවේ දිවාකරගේ අදහස එක එල්ලේ පිළිගැනීමට තමන් සූදානම් නැති බව පෙන්වමිනි.

කාර්යාල මේසය දෙසට අත දිගු කල දිවාකර, "මේ මේසේ උඩ තියන දේවල් කව්රුත් එහා මෙහා කරන්න නැති ව ඇති නේද?'

"නැහැ, හැමදේම තියෙන්නේ තිබුන විදිහටමයි...."

මේසය මත වූ කෝප්පය දෙසට නැවී එය අතින් නොඅල්ලා එහි තුල වූ දෙය ආග්‍රහණය කල ඔහු,

"හොඳයි එහෙනම් මේ බාගෙට බීපු කෝපි එක ලැප්ටොප් එකේ වම් පැත්තේ තියෙන්නේ ඇයි? එතකොට අර බිත්තිය ළඟ තියන අයන් ටේබල් එක උඩ තියන අයන් එක වම් පැත්තේ තියෙන්නේ ඇයි....... තව ඕනේ තරම් දේවල් කියන්න පුළුවන් මිනිහා වමත් කාරයෙක් කියලා කියන්න"

"එතකොට සර් කියන්නේ මේක මිනිමැරුමක් කියලද?" පරාජය බාරගත් හඬකින් ජයසුරිය එය ඇසුවත් ඔහුට පිළිතුරු නොදුන් දිවාකර දිගටම පරික්ෂාවේ යෙදිනි.

ලොකු පත්තර පිටුවක් සොයාගත් දිවාකර මේසය අසල තිබු කුණු කූඩය එයට හලා එය අසල දන ගසාගෙන පැන්සලකින් එහි ඇති දෑ එහෙ මෙහෙ කරමින් පරික්ෂාවේ යෙදුනි. එහි ඇති සමහර දේ සීරුවෙන් ගෙන කුඩා බෑගයක දමා ගත් අතර එවැනිම පරීක්ෂාවක් මේසය මත ඇති දේ පිළිබඳවද ඔහු සිදු කරනු දක්නට ලැබිණි.

"කුමාර් ෆොටෝ අරන් ඉවරද? මට මේ තුවාලේ හොඳ ක්ලෝසප් ඕනේ....ඔලුව දෙපැත්තෙම" ඔහුගේ ඉල්ලීමට අනුව සියල්ල ජායාරූප ගතකරනු දක්නට ලැබිණි.

"ජයසුරිය මෙහෙ එන්න, පේනවද මේ පොඩි නෝට් පොත? මුකුත් ලියලනම් නැහැ හැබැයි කොලයක් කඩපු බවක් පෙනෙනවා...... කඩපු කොලේ විසිකරලත් නැහැ, හොයාගන්නත් නැහැ. අපි බලමු........."

ඒ වනවිටත් කාමරයේ පරික්ෂාවේ යෙදී සිටි අයෙකුගෙන් මිනිරන් කුඩු ස්වල්පයක් ඉල්ලාගත් දිවාකර එය සෙමින් නෝට් පොතේ මුල් පිටුව මත විසිරුවා හැරියේය. කඩන ලද පෙර පිටුවෙහි ලියන ලද ඉලක්කම් පහක චායාව පැහැදිලිව දක්නට ලැබිණි.

"ජයසුරිය මොකක්ද මේ ගැන හිතෙන්නේ" ඔහු එසේ ඇසුවේ අදාල නෝට් පොත පරීක්ෂකවරයා දෙසට හරවමිනි.

"8 0 4 3 5 .........ම්.........ටෙලිෆෝන් අංකයක් වෙන්නත් බෑ..... වාහන අංකයක් වෙන්නත් බෑ.....මොකක් හරි රහස් කෝඩ් එකක් ද? පාස්වර්ඩ් එකක් ද?, මට හිතාගන්න බෑ...."

"මම මිස්ටර් ඇන්ඩ්රු ගේ පොත් පත් කීපයක් බැලුවා..... පෙනෙන විදිහටනම් එයාගේ අත් අකුරු නෙවෙයි වගේ......... ඔය නොම්මරේ ගැන අපි පස්සේ හොයමු..... මගෙන් ඇහුවනේ මේක මිනිමරුමක්ද කියලා......... ඔව් මේක මිනීමැරුමක්, ඒ වගේම ඊයේ රෑ තව කෙනෙක් මේ ගෙදර ඉඳලා තියනවා...... ගෑනු කෙනෙක්, එයා වෙන්නත් පුළුවන් මිනී මරුවා........... "

"මොනවා? ගෑණු කෙනෙක් !! "


මතු සම්බන්ධයි


Friday 18 September 2015

වැරදියට ඇහෙන සිංහල සින්දු - 2




මෙන්න ආවා සන්ෆ්ලවර්ස් සමග වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 2, වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 1 බලපු නැති අය බලලා එන්න.


26. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා

27. ආ....දරියේ කුචි රාණනියේ

28. මල් ඔතනෝ...... මගෙ මල් ඔතනෝ.....

29. උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ, පියාගෙ නම තිලක් උනේ 
කොහොමද අම්මේ

30. මුඩු මුහුණේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද

31. හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට

32. චන්ද්‍රාමේ රෑ පාරේ ආවා

33. ඔබ තාම මාගෙමයි වයස්ගත යෞවනියේ.

34. ලස්සන නම් නෑ පෙනෙන්නේ... බිත්තර සුවඳයි දැනෙන්නේ.

35. ඒ හිස් හදේහි මතුවු ලක්කාරයා උබුලු

36. සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි.. කුඹුකේ ළිඳෙන් දිය ඇදලා නාලා.. හැඩවැඩ වෙන්න ඔයා ලස්සන කළු පොළඟා එනවා ඔබව සොයා

37. ඔබ ආරාධනා වක්කලාදෝ!! 

38. තෙත කොණ්ඩය බිම ගෑවෙයි නුඹේ... හැටට හැටේ

39. නිල්ල නගන "ස්වර්ණ කිකිළි" රාවේ....... සිත පුරා.

40. ඇස් දෙක වහගෙන ගිය දෙන්නට මේ මොකද උනේ

41. පුල්ලි ගොනා පුරුදු කාරයා මම තමා කරත්ත කාරයා

42. Few වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ

43. කඳුලැලි ඇහැට ඇවිත් ඇහැ එතනින් බිමට වැටෙයි

44. මම රෙන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි

45. වසන්ත ගාවට සුරන්ගනාවන් අනන්තවත් ඒවී

46. කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා.. සුළු මැදුම්ගෙ දෙක පැටලී ගිගිරි වැළපෙනා..

47. ආදරයයි, කරුණාවයි, ඉඹි පැටියයි මා සිත පාරයි

48. ජීවන විල මැද ඇඹරෙන කැකුළකි චූ බර ඌරුවතී.

49. මලට රේනු සේ... ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ... තනිය-ම කන්නම්

50. මගෙ හිතගාව දණගාපු මනමාලියේ

51. රුවන් නිදන එළබිමයි 
නුවන් අදන එළබිමයි
නිවන් පුදන එළබිමයි
ලොව හෙළි කළ එළබිමයි

52. සොර දෙටුවෙක් කස තැලුම් කකා වන්ගෙඩියට ගෙන යන ගමනේ...

53. පොල් පිති විතරක් පළමු හාදුවෙන් තෙමන්න

54. උඩ ගුලියක් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත
මේ දෙරනේ...

55. දේදුන්න සේදී.. රෑ නිල්ල උතුරා
ලාඩම් අහසින් වැස්සක් වැටුනා...

56. ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න සියඹලා දුවේ

57. සඳ මෝජු වෙලා නැගෙනා රෑ කාලේ වනන්තරේ..

58. මහ දැනමුතු වණ බඹරා ලං වී කනට ඔබේ.

59. එළදෙනට... ජනජයතු... ජයමංගලානි

60. කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ අතපය මට සුවදයි

61. සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ලංළේ සිපගන්නට මම ඉන්නම් තව සුනාමියක් එනකං

62. පරණ රමණී ඔබේ ආලේ සදාකල් දුකට වී මෝලේ

63. බිමට වරෙන් බිමට වරෙන් ස්වර්ණමාලි කුමාරියේ…

64. චී ඊ ඊ ඊ ඊ ඊ මල් පබා

65. පියඹා ආවා ප්‍රේම කුරුල්ලා රත්නපුරේ හී කූඩු සදන්ටා....

66. කුකුළුපොරේ හඳපානෙ නටන වීදුරු මල් නෙලන්නම් .. 

67. පිදුරු දෙවිගල පැල්පතේ නැති

68. යටිපතුලේ........ හසරැල්ල නළ රැල්ල කඳුලැල්ල මා නම් ඔබේ...

69. ඔබ තේදුන්න ආකාසයේ හංගා තබා යන ටෙක්නික් බලා

70. දණගාද්දි ඇවිදින්නට මට අතදුන්න - ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
මහළුව බැරි උනාම ඔබ හට ඇවිදින්න - තොට දෙන්නම් තාත්තේ කොන්ද කැඩෙන්න

71. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා

72. සඳ මිදුලට එනවා - ඇඳි වත සිහිවෙනවා

73. නුබේ මුහුන දකින වරෙ.... හදේ අදුර තුරන් කෙරේ...පසලොස්වක 
පෝය බදාදයි

74. පින් මාලු වලේ හුටන් ටැන්ට මාලු බානවා

75. රන් මසු නෑ කියා මා බිළිඳුයි කියා කීවා

76. පිරිමි සරු සර වී.... ලා...... නීල ගොයම් පැසේ...

77. සැදෑ.... කළුවර පොර ගගා විත්

78. මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...ඔ්....මාලෙ බැන්ද මාගෙ රම්‍ය වන්...
මගෙ සුනිමල අැගෙ පිත්තල, මගෙ සුනිමල අැගෙ පිත්තල...

79. මල කිම්බේරෙන පැණි බින්දු... 

80. සුදු අරලියා මල......ලිංගික ඇසුරකට මට දැන් අවසරද

Tuesday 15 September 2015

වැරදියට ඇහෙන සිංහල සින්දු - 1


සමහර සින්දු තියනවා ඒවා ඇහෙන්නෙම වැරදි විදිහට. බණ්ඩාට පොඩිකාලේ "චන්දන ඇඟ ගාලා කොන්ඩෙ කඩා දාලා" සින්දුව අහුනෙම "චන්දන ඇඟ ගාලා කොන්ද කඩා දාලා" කියලා. ඔබටත් එහෙම වැරදියට ඇහෙන සින්දු ඕනෙතරම් ඇති, ඒවගේ ඒවා එකතුකරලා ලිස්ට් එකක් හදන්න බණ්ඩා හිතුවා.....මේ දවස්වල ට්වීටරේ යනවා වැරදියට ඇහෙන සිංහල සින්දු ගැන කතාබහක්. ඒකෙන් ගත්ත ඒවත් මෙතන තියනවා................සින්දුව මතක නැති උන්ට අහන්න ලින්ක් එකත් දැම්මා.......මෙතැන නැති වෙන ඒවත් තියනවනම් කොමෙන්ටුවක කොටන්න, දෙවන කොටසට දාන්නම්. 


1. එළදෙනට ජනජයතු ජය මංගලානි (Listen)

2. ඔලුව කපාගෙන රෑ ඝන අඳුරේ කොටියෙකි මාමේ සීතල වතුරේ (Listen)

3. සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය, සමනලයෙක් අතේ එව්වා හම්බ වුණාද, ඌව කන්න පරිස්සමින් කටු පොඩි නොකර (Listen)

4. සොමියට වරෙන් පුතා අගුරු ගාලා නෑ දොරේ (Listen)

5. වේසීලා දුක් විදලා කම්මලේ යකඩ තලා..... 
(Listen)

6. වන්දනාවේ යමු තේ බීලා තිසරණ සීලේ 
(Listen)

7. හඳපාන ඔබ කොපුලේ..මධුමතියේ බඩුම තමා.. 
(Listen)

8. යමු යමු යමු අපි ඇවිද යමු ගෑණියේ 
(Listen)

9. රෑන ගිරා රෑන අඹේ මී පිරී
රන ගිරවා රන ගිරවී සොයන්නේ
ඇගෙ මිනිහා ඈව සොයා ඒ
කන්ද උඩින් පියා සලාලා 
(Listen)

10. ආදරය සුන්දර වළදකී .. කිසි දා සමාවක් නම් නැතී 
(Listen)

11. නිල්මිණි නංගී නාවී චංචල ගංගාවේ .... 
(Listen)

12. ඔබේ සිනා ළඟ පිත නැවතුණු දා 
(Listen)

13. ජෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ 
(Listen)

14. මඩේ කොතැනක හෝ හිඳී ඔබ 
(Listen)

15. එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි 
(Listen)

16. අනේ මං බලාන උන්නා....ලලිත් ඔබ එතැයි කියා. 
(Listen)

17. රන් සමනල ජොඩු බබාගේ... 
(Listen)

18. රූප සොබාවට හිත වහ වැටුනට..
ආල කථා නොකියන්න හොඳා..
ජාඩි ලඳකි මම අවසර පිං කඳ 
(Listen)

19. ඔබට වළං නැති මටද වළං නැති සෙනෙහස කොතැනද සැගව ගියේ 
(Listen)

20. සමන් පල්ලි යන්නේ සදේ රැස් කැරැල්ලේ 
(Listen)

21. සුසිල් ප්‍රේම වඩනා .. මා ප්‍රියංගනාවී 
(Listen)

22. නිල්ල නගන ස්වර්ණ කිකිළි රාවේ.... සිත පුරා.. 
(Listen)

23. අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ. 
(Listen)

24. පින්න මලේ සුද හැන්ද ගිහින් 
(Listen)

25. පොඩි මඩේ හිටිය නගේ නුඹට හිත බැදුනා මගේ...  
(Listen)


වැරදියට ඇහෙන සිංහල සින්දු - 2 මෙතනින්



අත හිත Twitter, google, අනම්මනං


Monday 14 September 2015

කෝපි යන්ත්‍රය



"ස්ටීවන් කෝපි කෝප්පයක් වත් බොමුද?" දින ගණනාවක් තිස්සේ පිළියෙළ කරන ආරක්ෂක වාර්තාවක් නිසා හෙම්බත් වූ ඇලන් තම සගයාගෙන් ඇසීය.

"ඕකේ.... ෆ්ලැට් වයිට් ෆෝ මී ප්ලීස්........"

"අද හවස් වෙනකොට මේ රිපෝර්ට් එක කොහොම හරි ඕනේ කියලා මේජර් කිව්වා, තව ගොඩක් තියනවා කොහොම ඉවර කරන්නද මන්දා......" මෙසේ කියමින් ඇලන් නැගී සිටියේ තමාටත් තම මිතුරාටත් කෝපි කෝප්ප දෙකක් රැගෙන ඒමටය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වන පෙන්ටගනයේ රැකියාවට අනුයුක්තව ඇලන් මේ ගත කරන්නේ සිය දෙවන සතියයි. "මේක මහ බෝරිං වැඩක්" පෙන්ටගනයේ සේවයට ආ දවසේ සිට ඔහුට සිතෙන්නේ එහෙමය. වසරකට පමණ පෙර ඇෆ්ඝන් මෙහෙයුමක් අතරදී තම කලවයට වැදුණු උණ්ඩයක් නිසා ක්‍රියාන්විත රාජකාරි වලින් ඉවත් වීමට ඔහුට සිදුවිය. ප්‍රතිකාර වලින් සුවය ලැබූ ඔහු දැන් පෙන්ටගනයේ ආරක්ෂක කටයුතු බාර මේජර් වරයෙක් යටතේ සේවය කරයි.

කෝපි යන්ත්‍රයේ අදාල බොත්තම් කිහිපය තද කිරීමෙන් තම මිතුරාට අවශ්‍ය කෝපි වර්ගය මුලින් ලබාගත් ඇලන් දුටුවේ කුඩා LCD තිරය මත නිවෙමින් දැල්වෙමින් දිස්වන "Error-Please Fill" සංඤාවයි.

"ශීට්!" ඇලන් එසේ කීවේ තමන්ට මඳක් එහා සිටි තවත් නිලධාරියෙකුට ද ඇසෙන පරිදි තරමක් ශබ්දයෙනි.

"අහ්, මිල්ක් හරි කොෆී හරි ඉවරවෙලා වගේ....ඔය උඩ කබඩ් එකේ තියනවා කොෆී" නුපුරුදු මුහුණ දැකීමෙන් ඔහු නවකයෙක් බව දැනගත් එම නිලධාරියා උදව්වට පැමිණෙමින් කියා සිටියේය.

"පෙන්ටගන් වගේ තැනකට මේ වගේ පොඩි කෝපි මැෂින් හරියන්නේ නෑ......දැන් බලන්න. මේක දවසට දෙපාරක් වත් රීෆිල් කරන්න ඕනේ..... මේක කොච්චර ඇඩ්වාන්ස් එකක් උනත් දාන්න පුළුවන් කෝපි පැකට් හතරයි, කිරි ලීටර් හතරයි.පැකට් නොකඩා දාන්න පුළුවන් මේවගේ ඒවා තියෙන්නේ බොහොම සීමිත තැන් කීපෙක විතරයි, සෙකියුරිටි රීසන්ස් වෙන්න ඇති. පැකට් එක ඇතුලට ගියාම මැෂින් එකෙන්ම ඒක ඇරිලා තමයි කෝපි එලියට එන්නේ..... අනේ මන්දා පිස්සු වැඩ" ඔහු එසේ කීවේ කෝපි යන්ත්‍රය විවුර්ථ කරමිනි.

"අනික ඔයා දන්නවද? මේ මැෂින් එකේ තියනවා පොඩි ප්‍රශ්නයක්, අන්තිම කෝපි පැකට් එක විතරක් තියෙද්දී මේක වැඩ කරන්නේ නැහැ. අලුත් පැකට් එකක් දැම්ම ගමන් වැඩ කරනවා...... කොම්පැනි එකෙන් ඇහුවම කියන්නේ ප්‍රොඩක්ෂන් ඉෂූ එකක් ලු. නෙක්ස්ට් ඉයර් ඔක්කොම මැෂින් රීප්ලේස් කරනවලු..... මුළු පෙන්ටගනය පුරාම මේවා හාර පන්සීයක්වත් ඇති, දන්න තරමට ඔක්කොම ඔයවගේ...." ඔහු කියාගෙන ගියේ සිනාසෙමිනි.

ඔහු විසින් නැවත ඇතුල්කරන ලද කෝපි පැකට් කිහිපයෙන් පසු යන්ත්‍රය නැවත යථා තත්වයට පත්විය. ඔහුට ඉස්තුති කල ඇලන් තම කාමරය වෙත පිය නැගීය. ඔහු කාමරයට යනවිට ස්ටීවන් සිටියේ තරමක කලබලයෙනි.

"ඒයි, උඹ දැක්කද මේක. මේ දැන් ආවේ....... හයි රිස්ක් ඇලර්ට් එකක්. ටෙරරිස්ට් ඇටෑක් රිස්ක් එකක් තියනවලු පෙන්ටගන් එකට. හැබැයි කවදද කොහොමද කියලා තවම දන්නේ නැහැලු" ස්ටීවන් එසේ පැවසූවේ තම පරිඝනක තිරය ඇලන් දෙසට හරවමිනි.

2001 වසරේ සැප්තැම්බර් පළවෙනිදා පෙන්ටගනයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු එවැනි ප්‍රහාරයක් පිලිබඳ කතාවක් වත් ඇහෙන පළමු වතාව මෙයයි. ප්‍රහාරයෙන් පසුව බුද්ධි අංශ සීරුවෙන් තබන ලද අතර ආරක්ෂක පියවරද දෙතුන් ගුණයකින් වැඩි කෙරිණි. එවන් පසුබිමක මෙවැනි අනතුරු ඇඟවීමක් නොසලකා හැරිය නොහැක. බුද්ධි අංශ අනුව ප්‍රහාරයක තොරතුරු හෙළි උවත් එය කවදා කෙසේ සිදුවේද යන්න තවම හෙළිවී නැත. හවස් වන තුරු අනතුරු ඇඟවීමෙහි තත්වය පහල නොදැමුණු අතර පෙන්ටගනය ඇතුළුව සියලු ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන වල ආරක්ෂක විධි විධාන තියුණු කෙරිණි.

"මොන මඟුලක් උනත් මම අද මේක කීයට හරි ඉවරකරලා තමයි ගෙදර යන්නේ......" තම මිතුරා සිය වැඩ මුරය අහවර කොට නිවස බල යාමට සැරසෙනු දුටු ඇලන් කීවේය.

"ඕකේ දෙන් සී යූ ටුමොරෝ......."

"සී යූ ස්ටීවන්, සී යූ ටුමොරෝ....... "

පෙන්ටගනයෙහි බොහෝ අංශ දවසේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වෙයි. ඇමරිකා එක්සත් ජනපධ භුමිය තුලින් පමණක් නොව ලොව නන් දෙසින් ගලා එන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමත් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමත් මෙහිදී සිදුවේ. ආපන ශාලාවෙන් ගත් සැන්විචයකින් සප්පායම් වූ ඇලන්ට රාත්‍රී දහය පසුවන විට තද තෙහෙට්ටුවකුත් නිදිමත ගතියකුත් දැනිණි. තව පැයක් තුල තම වාර්තාව නිමකළ හැකි බැව් ඔහුට පෙනිණි.

"කෝපි එකක් බීලම මේක ඉවරකරනවා" යයි සිතමින් යන්ත්‍රය දෙසට ගිය ඔහුට දක්නට ලැබුනේ එය නැවතත් අක්‍රිය වී ඇති බවකි. කවරෙක් හෝ තැබූ උසැති කඩදාසි කෝප්පය තවමත් එහි ඇති අයුරු ඔහුට පෙනිණි. යන්ත්‍රය විවෘත කල ඔහුට දක්නට ලැබුනේ කෝපි නොමැති වීමෙන් යන්ත්‍රය අක්‍රීය වී ඇති බවකි. ඉහලින් ඇති ලී කැබිනෙට්ටුව විවෘත කල ඔහු කෝපි කුඩු පැකට් තුනක් පිටතට ගත්තේ උදය වරුවේ ඔහුට ලැබුන උපදෙස් සිහිපත් කරමිනි.
"මේකේ පැකට් හතරක් දාන්න පුළුවන් උනාට අන්තිම එක විතරක් තියෙද්දී වැඩ කරන්නේ නැහැ" ඔහුට එම වදන් යලි සිහිපත් විය.

බලමු මේක වැඩකරන්නේ කොහොමද කියලා යනුවෙන් තමන්ටම කියාගත් ඔහු අදාල ස්ථාන වල කෝපි පැකට් තුන අසුරා පැති දොරටුව නොවසාම යන්ත්‍රය ක්‍රියා කරවීය. ඔහු පුදුමයට පත් කරමින් ඉදිරියෙන්ම තිබුණු පැකට්ටුව විවෘත නොවී එය පැකට් පෙලේ අන්තයට ගමන් කරන බව දක්නට ලැබිණි. ඔහුට මෙය මහත් කුහුලකි, නැවතත් අනිත් පැකට්ටු ඉවත් කර අදාල පැකට්ටුව මුලින් සිටිනසේ තබා යන්ත්‍රය ක්‍රියා කලද පෙරසේම එය පෙලේ අන්තයට යනබව ඔහුට දක්නට ලැබිණි. ලාංජන, අකුරු සලකුණු හා වර්ණ අනුව පිටතින් කිසිදු වෙනසක් නොපෙනුණු එම පැකැට්ටුව බරින් අනික් පැකට්ටු වලට වඩා වැඩි බව හා එහි වූ කෝපි තදවී ගල් වී ඇති බව වඩා හොඳින් පරීක්ෂාකළ ඔහුට දක්නට ලැබිණි.

"හො හෝ..... මේකයි මේ එක පැකට් එකේ ලෙඩේ....." යයි තමන්ටම කියාගත් ඇලන් ගල් වුනු කෝපි පැකට්ටුව අසලවූ කුණු කූඩයට දමා කෝපි කොප්පයකුත් රැගෙන තම කාමරයට ඇතුළුවිය. දියුණු තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති කෝපි යන්ත්‍රයට, ගල්වූ හා සුළු වශයෙන් බරින් වැඩි පැකට්ටුව අදාල ස්ථානයට පැමිණි විට එය දෝෂයක් ලෙස හඳුනා ගැනීමට හැකිවූ බව දැන් ඔහුට විශ්වාසය. කෝපි කෝප්පය තොලගාමින් තම වාර්තාව නිමකරණවිට මධ්‍යම රාත්‍රිය පසුවී තිබිණි. එය තම උසස් නිලධාරියාට විද්‍යුත් තැපෑලෙන් යැවූ ඔහු ඊළඟ දිනයේ උදය වරුවේ තමන් නිවාඩුවක් ගන්නා බවට පසු සටහනක් තැබීමටද අමතක නොකළේය.

පසුදින හරියටම එකොළහේ කණිසමට පෙන්ටගනය පුරා එකවර පිපිරීම් වැලක් සිදුවූ අතර පොළොවෙන් ඉහල මහල් පහ සහ පොළොවෙන් පහල මහල් දෙකම එයට ගොදුරුවිය. තැන් සිය ගණනක එකවර සිදුවූ මෙම පිපිරීම් හා ඉන්පසුව ඇතිවූ ගින්න නිසා සිදුවූ හානිය අති විශාලය.

පෙන්ටගනය පුරා විවිධ තැන් වල විසිදහසක් පමණ වන එහි සේවකයන්ට භාවිතයට ස්ථානගත කර තිබූ කෝපි යන්ත්‍ර පන්සීයයකට අධික ගණනක් මෙසේ පුපුරා ගොස් තිබිණි. ඒවා සියල්ලම තුල කිලෝග්‍රෑමයක් පමණ වන බෝම්බය කෝපි පැකට්ටුවක් තුල අටවා තිබුණු බව කියැවුනු අතර, දුරස්ථ පාලකයක් මගින් ඒවා සියල්ල එකවර පුපුරවා හැර තිබිණි. යන්ත්‍ර සවිකළ පළමු දිනයේ සිටම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අදාල කෝපි පැකැට්ටු පෙන්ටගනය පුරා ඇති සියලු කෝපි යන්ත්‍ර තුල ස්ථානගතව තිබූ බැව් පසුව පැහැදිලි විය.

ඇලන්ගේ කාමරය අසල වූ පුපුරා නොගිය එකම කෝපි යන්ත්‍රයෙන් හා ඔහුගේ ශාක්ෂි වලින් ප්‍රහාරකයන් හඳුනා ගත්තද ඔවුන් අත් අඩංගුවට ගත නොහැකි වුයේ ඒ වනවිටත් ඔවුන් එක්සත් ජනපධ භූමියෙන් පළාගොස් සිටි බැවිනි.


ජායාරුප අන්තර්ජාලයෙනි

Monday 7 September 2015

වාසනාවට පොලීසියට අහුවීම




ඒ 2012 හෝ 13 අවුරුද්ද. බණ්ඩාගේ බැචේක්ගේ තාත්තා කෙනෙක් නැති උනා හදිස්සියේම. යාළුවා ඔෆිස් එකේ කෙනෙක් නොවුනට ඔෆිස් එකේ තව යාලුවෙක් හිටියා අර යාළුවා එක්ක කලින් වැඩ කරපු, ඉතින් සතිය මැද්දේ දවසක් උනත් නොගිහින්ම බැරිනිසා අපි දෙන්නා ඊළඟ දවසේ රෑම පොළොන්නරුවේ යමු කියලා තීරනේ කොලා........ අහ් කියන්න බැරිඋනා මළගෙදර තිබ්බේ පොළොන්නරුවේ ඈ........
ඉතින් හවස ගිහින් රෑම ආපහු එන්න තමයි ප්ලෑන් කලේ. ඒ දවස් වල අම්බානකුත් තව ටිකක් වැඩ තිබ්බ නිසා කොහොමත් නිවාඩුවක් ගන්න බැරි තත්වයක් තිබ්බේ.

ඉතින් අපි දෙන්නා යනවා කියලා දැනගත්තම අපේ තව බැචාලා තුන් දෙනෙකුත් සෙට් වෙනවා කිව්වා අපිත් එක්කම ගිහින් එදා රෑම එන්න. මගේ ඔෆිස් ගජයා රෝසා...... අනිත් උන් සවී, සොරියා සහ ටොමියා. ඉතින් ඔන්න අපි කොළඹින් පිටත් උනා රෝසගේ කිරි කිරි කාර් එකේ........... ඒකේ පැට්‍රොල් හොඳට කරනවා කියපු නිසාත් පැට්‍රොල් වියදම බෙදාගන්න කැමති උන නිසාත් රෝසා කැමති උනා උගේ කාර් එකේ යන්න. නැත්නම් ඕකා මලත් එන්නේ නැහැ කාර් එක අරන්.

ඉතින් අපි දෙවි පිහිටෙන් කුරුණෑගල පහුකරලා දඹුල්ල පාරේ ඉබ්බගමුවට ඇවිත් එතැන තිබ්බ කඩේකින් මළගෙදරට ගෙනියන්න බඩු ටිකකුත් ගත්තා...... නිකන් අත වන වන යන්න පුලුවන්ද මලගෙයකට උනත්. ඉතින් බඩු අරන් අපි දඹුල්ලට ආවා.... එනකොට චුරු චුරු වැස්ස. ඉතින් කට්ටිය කිව්වා දඹුල්ලෙන් ATM එකක් තියන තැනකින් නවත්තලා සල්ලි ගමු කියලා වහින්නත් එන නිසා. එතකොට රෑ අටට විතර ඇති.
ඉතින් රෝසත් යාපනේ හන්දියෙන් පොලොන්නරුව පැත්තට හරවලා මුලින්ම හම්බුන බැංකුව ගාව පොඩ්ඩක් විතර හොම්බ (කාර් එකේ ඈ.....) ඇතුලට දාලා නැවැත්තුවා. නවත්තලා කට්ටියම ගියා ATM එකට සල්ලි ගන්න. බණ්ඩාගේ අතේ ඇතිවෙන්න සල්ලි තිබ්බ නිසා ඕනෑ උනේ නැහැ සල්ලි ගන්න. නමුත් කාර් එක නවත්තපු තැන බාර් පොඩ්ඩක්  තිබ්බ හින්දා එතනම ඉන්න වඩේ පොරක් බණ්ඩා දැක්කා. ඉතින් වඩේ ටිකක් ගන්න එතනට ගියා.

දන්නවනේ බාර් ගාව වඩේ අය්යලට තියන බිස්නස්. ඉතින් පොර හෙන බිසී. බන්ඩත් අමාරුවෙන් වඩේ මලු දෙකක් ම ගත්තා.... අරන් කාර් එක ලඟට යනකොට බණ්ඩාට පෙනෙනවා පොලිස් කාරයෙක් වටකරගෙන අපේ සෙට් එක තෙමීගෙන හෙන වාදයක. බන්ඩත් හෙමින් එතනට කිට්ටු කලා...... රෝසගේ ලයිසොන් එකත් දැනටම පොලිස් භාරයේ....... දැන් මෙහෙමයි කතාව ඇහෙන්නේ..............

පොලිස්: දැන් මම සැරයක් කිව්වනේ.... මෙතන නවත්තන්න බෑ..... පේනවනේ දිගටම අයින දිගට තියන කහ ඉර? මෙතන නැවත්තුවම පාරේ වෙන වාහන යන්නේ කොහොමද? කතා කරන්න එපා....... දඩ නැහැ හෙට උසාවි එන්න.

රෝසා සහ අනිත් පිරිස: අපි බැංකුවට යන්න නැවැත්තුවේ....... මේ වැස්සේ වෙන මොන මඟුලේ නවත්තන්නද? අනික නවත්තන්න තැනක් තියනවද? බ්ලොක් වෙන හින්දා තමයි ටිකක් ඇතුලට කරලා නැවැත්තුවේ.... බ්ලා...බ්ලා...බ්ලා

පොලිස්: (තවත් මළ පැන) දැන් මම කිව්වනේ කතා කරන්න එපා හෙට උසාවි

රෝසා: එහෙම කොහොමද? ඔයා දැන් කියන්න අපි වෙන කොහෙද නවත්තන්නේ බැංකුවට යන්න ඕනෙ නම්.... සහ .... බ්ලා...බ්ලා...බ්ලා

පොලිස්: උසාවි එන්න හෙට

ඔන්න ඔය අතරේ බණ්ඩා ගේ චූටි මොලේට කල්පනා වෙනවා මේ පොලිස් කාරයා ගේම ඉල්ලලා ගොඩ දාන්න පුළුවන් එකෙක් නෙවේය කියලා..........එක්ස්පීරියන්ස් ඈ.............

ඉතින් බණ්ඩා වඩේ මලුදෙකත් අතින් අරන් මැද්දට ගිහින් කට්ටිය නිස්සද්ද කරලා..... පොලිස් රාළහාමිට බොහොම නිවුණු හඬින් මෙහෙම කිව්වා.........

"අය්යේ.........අපි එන්නේ කොළඹ ඉඳලා...... යන්නේ පොළොන්නරුවේ.......අපේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් නැතිවෙලා...... අපි මේ මළ ගෙදර යන ගමන්, මේ බලන්න අපි සුදු ඇඳුම් ඇඳගෙන ඉන්නේ ඒකයි. රෑම ආපහු එන්නත් ඕනෑ හෙට වැඩට යන්න. මළ ගෙදර මොනවාහරි ගෙනියන්න ඕනේ නිසා සල්ලි ගන්නයි මෙතැන නතර කලේ (ඌ දන්නවයි අපි කලින් බඩු ගත්තා කියලා......)............වරදක් උනානම් සමාවෙන්න"

ඒක අහපු පොලිස් අය්යා ටිකක් කල්පනා කර කර ඉඳලා මෙහෙම කියනවා..........

"කොළඹ ඉඳලා එන නිසා.....ත්, පොළොන්නරුවේ මළගෙදරක යන නිසා.........ත්, විශේෂයෙන් මේ මහත්තයා හොඳින් කතා කල නිසාත්, අදට සමාව දෙනවා" කියල ලැයිසෝන් ඉන්සුරන්ස් මගේ අතට දුන්නා........
ගේම ඉල්ලපු කොල්ලෝ අස්සේ මෙහෙම කතාකරනකොට බොක්ක උනත් දෙන්න බැරිද කියලා රාළහාමි හිතුවද දන්නේ නෑ.........

ඉතින් අපි පොරට ස්තුති කරලා අයෙත් ගමන පිටත් උනා.

දැන් ඉතින් බණ්ඩාට හෙන තැන...... අම්මද බොල කෝමද මූ පොලිස්කාරයා ගොඩ දැම්ම හැටි කියලා අරුන් මාව ගහට නග්ගනවා...... කෝමද උසාවි දැම්මනම් එහෙම දඹුල්ලේ.................

පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම උඹ තමයි ගොඩ දාන්න ඕනේ කියලා මුන් මට ඉස්සරහා සීට් එකත් දුන්නා. ඉතින් දෙය්යන්ගේ පිහිටෙන් අලින්ටවත් පොලිසියෙන්ට වත් අහු නොවී අපි හබරණත් පහුකරලා මළගෙදරට ආවා රෑ දොළහට විතර. ඇවිත් කාලා බීලා අයෙත් දෙකට විතර එන්න පිටත් උනා.

දැන් අපි  පොළොන්නරුවේ ඉඳලා හබරණ කැලේ පටන් ගන්නා හරියටම එනකල් ආවා. එක දිගට වැලි ලොරි එනවා..... ඉස්සර කොරන්න හදනකොටම සුදු ඉර හෝ ඉරි දෙක. රෝසටත් ඉතින් පරණ පාඩම මතක නිසා ලොරි කාරයන්ගේ අම්මලා මතක් කර කර උන්ගේ පස්සෙන්ම එනවා.... එකෙක් පහු කරනකොට අයෙත් එකෙක්. ඉතින් ඔහොම එකෙක් ගේ පස්සේ අපි හෙමින් හෙමින් හෙන දුරක් ආවා.......... ඔහොම ඇවිත් එක තැනකින් රෝසගේ ඉවසීමේ සීමාව පැන්නා පින්වතුනි......... පැනලා මූ සුදු ඉරි දෙකකුත් කපාගෙන ඉස්සර කොරනකොටම පැන්නේ නැද්ද රාළහාමිලා දෙන්නෙක් ම විසිල් ගස ගසා....අර ලයිට් පොල්ලත් වන වනා.......... කාර් එක නතර උනේ සෑහෙන දුරක් ගිහින්. දැන් ආයෙත් රෝසා දුම්මල වරම අරන් පොලිස් කාරයන්ට බැන බැන උන් ඉන්න දිහාවට යන්න පටන් ගත්තා කාරෙකෙන් බැහැලා......... නින්දක් දාන්න කියලා පාවහන් එහෙම උනා තියලා බණ්ඩා සුජානම් උනා විතරයි, පිටිපස්සේ උන් ටික කියනවා.....

"අනේ පලයන් බන්ඩෝ උඹ තමයි මේ සැරෙත් ගොඩ දාන්න ඉන්නේ" කියලා...... අනේ දෙය්යනේ..... දැන් මම මොනවා කරන්න ද? හෙමින් සපත්තු දෙකත් දාලා අනිත් උන් තුන්දෙනත් එක්ක පොලිස් රාළහාමිලා දෙන්නා ගාවට යද්දී රෝසා අයෙත් ගේම ඉල්ලනවා......

"කරන්න දෙයක් නෑ මහත්තයෝ...... මේ දවස්වල හරියට ඇක්සිඩන්ට් කියලා ලොක්කෝ අපේ ඔලු කනවා ඉතින් කරන්න දෙයක් නෑ....... ඉරි දෙක කැපුවම අයෙත් සමාවක් නෑ........." ඒ එක රාළහාමි කෙනෙක්. ඔන්න බණ්ඩාගේ වාරේ ආවා......

"අය්යේ.........අපි කොළඹ ඉඳලා පොළොන්නරුවේ.......අපේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ මළගෙදර ගිහින් මේ ආපහු කොළඹ යන ගමන්" කියලා සම්පුර්ණ හෑල්ලම ඉවර කරන්නත් කලින් එක පොලිස් රාළහාමි කෙනෙක් බණ්ඩාගේ උරහිස් දෙකෙන් අල්ලලා බණ්ඩාගේ මූන එතන තිබ්බ ලයිට් කනුව පැත්තට හැරෙව්වා............... හරවලා............

"හත් ඉලව්වේ බණ්ඩයියා......................" කිව්වා............. කොහෙද බන් අයියේ මේ යන්නේ...... පොළොන්නරු එනවනම් කෝල් එකක් වත් දෙන්න තිබ්බනේ......බ්ලා...බ්ලා...බ්ලා....දැන් බන්ඩත් ෆුල් හොල්මන්. බන්ඩත් අරූගේ මූන ලයිට් කනුව පැත්තට හරවලා බැලුවා.....

හත් ඉලව්වේ මේ ඉන්නේ මගේ ඉෂ්ඨ දේවතාවා වගේ අපේ ගමේ මලයෙක් නේ.........

දැන් හැමෝටම ලැජ්ජාවේ සන්තෝසේ බෑ..... ඉතින් අපි උන්ගෙන්ම වෙන පොලිසිය හැංගිලා ඉන්න තැනුත් අහගෙන. හදිසියෙවත් අහු උනොත් කෝල් එකක් දෙන්න උන්ගේ නම්බරුත් ඉල්ලාගෙන කොළඹ බලා එන්න පිටත් උනා..............

දෙය්යන්නේ පිහිටෙන් අයෙත් පොලිසියටනම් අහු උනේ නෑ........ හැබැයි රෝසට නින්ද ගිහින් කට්ටියම අපායේ දොර ගාවටම ගිහින් ආපහු ආවෙත් අනිත් සීට් එකේ හිටිය බණ්ඩාගේ පිහිටෙන් කියලා කට්ටිය තවමත් මතක් කොරනවා...........


Saturday 5 September 2015

නැති වූ ඇඟිල්ල






"හොඳයි එතකොට යෝගේන්ද්‍ර මුදලාලි කියන්නේ එක ලඟම වෙඩි සද්ද දෙකක් ඇහුනා..... එතකොට වෙලාව පාන්දර දෙකට විතර ඇති කියලා එහෙම නේද? "

"එහෙමයි ඉන්ස්පෙක්ටර්, ඊයේ මම නිදා ගන්නකොට රාත්‍රී යෙකොළහ විතර තමා උනා......එක පාරම මොක හරි පුපුරණ ශද්දේ තමයි ඇහුනා...... ඩිංග වෙලාවකින් තවත් එකක් ඇහුනා දෙවැනි ශද්දේ එනකොට මම දැනගත්තා වෙඩිල්ල තමයි කියාලා...... ඉතින් මම අපේ නෝනත් ඇහැරවගෙන ජනේලේ ගාවින් බලාගෙන හිටියා"

අගනුවර ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයෙක් වූ යෝගේන්ද්‍ර දුරේසාමි, තමා මුහුණදුන් අත්දැකීම ඉන්ස්පෙක්ටර් දිසානායක ඉදිරියේ කැඩුණු සිංහලෙන් මේ කියන්නේ දෙවැනි හෝ තුන්වෙනි වතාවටය.

මහ නරක කාලයක්, තව 1973 අවුරුද්ද ගෙවෙන්නට ඇත්තේ දින කීයද? මේ අවුරුද්දටම අපරාධ කීයක් නම් උනාද? ඒ පොලිස් පරීක්ෂක දිසානායක තමන්ගෙන්ම විමසාගත් ප්‍රශ්න කීපයකි.

කොළඹ කටුගෙය සොරු බිඳ ඇති අතර එහි මුරකරු මරා බොහෝ වටිනා දේ රැගෙන ගොසිනි. නැතිවූ දේ පිලිබඳ නිළ වාර්තාව තවමත් පොලිස් පරීක්ෂකයා අතට නොලැබුන නමුත්, අපරාධ ස්ථානය පරීක්ෂා කල ඔහුට සොරකම බරපතල එකක් බැව් බැලූ බැල්මට පෙනිණි.

මෙම අපරාධයේ පැටලිලි සහිත තැන් කිහිපයක්ම  ඇති බව ඉන්ස්පෙක්ටර් දිසානායකට පෙනේ. ප්‍රධාන ශාක්ෂිකරු වන යෝගේන්ද්‍ර මුදලාලිගේ ශාක්ෂියට අනුව, හරියටම අලුයම දෙකේ කණිසමට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුවී ඇත. කටුගෙය ඉදිරිපිට දෙමහල් නිවෙසක වෙසෙන යෝගේන්ද්‍ර මුදලාලිගේ නිදන කාමරයට කටුගෙයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවත් එහි සිට ගොඩනැගිල්ල දක්වා දිවෙන වැලි ඇතිරූ පටු මාර්ගයත් හොඳින් දර්ශනය වෙයි. වෙඩි හඬින් අවදි වූ ඔහුට දක්නට ලැබුනේ බරැති යමක් ඔසවාගත් අයෙක් ගේට්ටුවෙන් පිටව යන ආකාරයත් ඉන් මිනිතුවකට පමණ පසු කටුගෙය ඉදිරියෙන් නැවැත්වූ කළුපැහැති මොරිස් මයිනර් රථයෙන් බැසගත් දෙදෙනෙක් ඉක්මන් ගමනින් කටුගේ දෙසට ගොස් ආපසු දිවැවිත් රථයේ නැගී පලා ගිය අයුරුත් ය. ඒ අනුව ඔහු ලබා දුන් විස්තර අනුව අදාල මෝටර් රථය හා පුද්ගලයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.

"සර්.......,ඕකුන් දෙන්නා කොච්චර නෑ කිව්වත් උන් තමයි මුර කාරයා මරලා හොරකම කරලා තියෙන්නේ..... " ඒ සාජන් හේරත් ගේ හඬයි.

බැලු බැල්මට නම් සාජන් හේරත් හරිය. පොලිස් භාරයට ගත් කාරයේ අසුනක් යට තිබී හමුවූ විදේශයක නිපදවූ කුඩා පිස්තෝලය වෙඩි තැබීමට යොදාගත් එකමය. රස පරීක්ෂක වාර්තාව හා ඇඟිලි සලකුණු වාර්තාව තවමත් නොලැබුන අතර අද දවල් හෝ හෙට උදේ වනවිට සම්පුර්ණ වාර්තාව ඔහු අතට පත් වනු ඇත. වසරේ අවසන් කාලය හා නත්තල් නිවාඩුව නිසා බොහෝ කාර්යාල වල සේවය සිදුවන්නේ තරමක් මන්දගාමීවය. සමහර කරුණු අනුව මෙය ප්‍රධාන සැකකරුවන් කෙරෙහි එක එල්ලේ සම්බන්ධ කල හැකි උවත් යම් යම් පරස්පරතා නිසා දිසානායකගේ සිත එය පිළිගන්නේ නැත.

"හේරත්, පොඩ්ඩක් හිතලා බලනවා..........මුන් දෙන්නා කියන විදිහට හොරකමට මුරකාරයත් හවුල්, ප්ලෑන් කලේ තුන් දෙනාම එකතුවෙලා.........ප්ලෑන් එක උනේ බොරුවට මුරකාරයව ගැටගහලා දාලා හොරකම කරන්න. උන් කියන විදිහට පිස්තෝලෙත් මුරකාරයට දීලා තියෙන්නේ කලින් දා රෑ..........කතා කරගත්ත වෙලාවට මුන් දෙන්නා ආවම දකිනවා මුරකාරයා මැරිලා කියලා...... අමතක කරන්න එපා යෝගේන්ද්‍ර මුදලාලිගේ ශාක්ෂිය. වෙඩි සද්දේ අහුනට පස්සේ ගොඩක් දේවල් වෙනවා...... කව්ද මේ හතර වෙනියා......අර මල්ලක් උස්සගෙන එලියට ගිය?"

"ඒවගේම දැක්කනේ මුරකාරයාගේ ඇඟිල්ල කපලා තිබ්බ හැටි? තමුසේ හිතනවද මෙතරම් ලොකු වස්තුවක් හොරකම් කරලා..... තව මැරිච්ච මිනිහෙක්ගේ ඇඟිල්ලකුත් කපලා මුද්දක් ගන්න හිතන හොරු ඉන්නවා කියලා....... මුළු හතර වටේ පීරුවත් අපිට ඒ ඇඟිල්ල හොයා ගන්න බැරි උනා නේ"

"මෙතන තව මොනවා හරි දෙයක් තියනවා අයිසේ අපිට හොයාගන්න බැරි උන. මට පෙනෙන විදිහට තව කීප දෙනෙක් සම්බන්ධයි මේ වැඩේට."

ඉන්ස්පෙක්ටර් වරයා හිතන ආකාරය හරි අමුතුය. බොහෝ පරීක්ෂනවල කෙතරම් උත්සාහ කලත් තමාට නොපෙනෙන පැත්තක් ඔහු දකින බව සාජන් හේරත් ට සිතිනි. යම් හෙයකින් තම තම උසස් නිලධාරියා පොලිස් පරීක්ෂකයෙක් නොවී අපරාධකාරයෙක් හෝ හොරෙක් වූවානම් ඔහු අල්ලනු බොරු බව සිහිවීමෙන් ඔහුට සිනහා පහල විය.

"මොකෝ අයිසේ හිනාවෙන්නේ?"

"නෑ සර් මම නිකමට හිතුවා සර් වගේ හිතන කෙනෙක් හොරෙක් උනානම් අල්ලලා හමාරයි නේද කියලා........"

"ඇයි තමුසේ අහලා නැද්ද හොරෙක් අල්ලන්නනම් හොරෙක් වගේ හිතන්න ඕනේ..... මිනී මරුවෙක් අල්ලන්නනම් මිනී මරුවෙක් වගේ හිතන්න ඕනේ කියලා කියමනක් තියනවා......"

"ඇත්තටම, සර් ගෙන් බේරිලා ගිය කව්රුත්ම නැද්ද?"

"ඉන්නවා..... හැබැයි දැනට එක්කෙනයි අය්සේ මගෙන් බේරුනේ..... මම දවසක තමුසෙට ඒ කතාව කියන්නම්කෝ........."

හදවත පසා කරගෙන යන ලෙස එල්ල වූ වෙඩි පහර දෙකක් මළ සිරුරෙහි දක්නට ලැබුන බව පොලිස් පරීක්ෂක වරයාට මතකය. නමුත් ඔහු පුදුමයට පත් කරමින් ඉවතට ගලා ගොස් තිබුනේ රුධිරය ස්වල්ප ප්‍රමාණයකි. එසේ වීමට හැකියාව ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එක්කෝ තුවාලය දරුණු නොවිය යුතුය නැත්නම් තුවාලය සිදුවීමට බොහෝ වෙලාවකට පෙර මරණය සිදුවී තිබිය යුතුය. වෙඩිපහර දෙකක් වැදීමෙන් සිදුවූ දරුණු තුවාලය දුටු ඔහුට පළමු හේතුව පහසුවෙන්ම බැහැර කල හැකිය.

මුරකරුගේ දකුණු අතේ මුදුව පළඳින ඇඟිල්ල මුවහත් යමකින් මුලින්ම කපාගෙන තිබිණි. අවට පීරා සෙව්වත් මුදුවේ හෝ ඇඟිල්ලේ කිසිදු හෝඩුවාවක් තවමත් නැත.

මුදුව ගැනීමට ඇඟිල්ල කැපුවාද? වෙනත් හේතුවකට එය කලාද? දිසානායකගේ හිතට වද දෙන ප්‍රශ්නයකි. කලින් හොඳින් සුදානම් වූ සොරකමකට ආ අයෙක් එය සාර්ථකව කරගෙන මුරකරුගේ ඇඟිල්ල කපා මුද්දත් රැගෙන යාමට සිතුවා යැයි ඉන්ස්පෙක්ටර් වරයා නොසිතයි.

"හේරත්, අපි යන්න ඕනේ කටුගේ පැත්තේ........ තව විස්තර ටිකක් හොයාගන්න ඕනේ මට"

අපරාධය එදින උදෑසන සිදුවූ නිසා කිසිදු පුවත්පතක තවම එම පුවත පලවී නැත. නමුත් ආරංචිය ලැබුණු වාර්තාකරුවන් කිහිප දෙනෙක් කටුගෙය තුල ඇවිදිමින් ජායාරූප ගන්නා බව එහිගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට දක්නට ලැබිණි.
අඩි හතරකට වඩා උස් නොවූ එහෙත් පුළුල් තාප්පයකින් වටවූ කටුගෙය අක්කර දෙක තුනක භුමි භාගයක් වටා පැතිර ඇත. වසර සියයකට පමණ පෙර මෙය නිර්මාණය කරන විට මෙවන් කරදර කම්කටොලු, අනවසර කඩාවැදීම් මෙම අභිමානවත් ගොඩනැගිල්ලට සිදුවනු ඇතැයි එහි නිර්මාණකරුවන් සිතන්නට නැතුවා වැනිය. කාලය වෙනස් වී ඇත, ලෝකය වෙනස් වී ඇත. මිල මුදලින් වටිනා දේ ට අමතරව අපගේ උරුමයන්ද රැකීමට ඇති සැලකිල්ල වැඩිකළ යුතුව ඇති බව පරීක්ෂක වරයාට සිතිණි.

ප්‍රධාන ගොඩනැගිල්ල ආසන්නයේ ඇති මල් පඳුරක් අසල නවතා තිබූ අත් කරත්තයක් ඉන්ස්පෙක්ටර් වරයාගේ අවධානයට ලක් විය.

"හේරත් බලනවා අරක, ඒක කොහෙන්ද මේක ඇතුලට ආවේ......පාරේ එළවලු විකුනන්න ගන්න කරත්තයක් නේද?"

"ඔව් සර්, ඒ වගේ.... අපි අහලා බලමු"

මේ අතර ඔවුන් පැමිණි බව දැනගත් කටුගෙයි ප්‍රධානියා පැමිණි අතර ඔහුගේ අත තිබූ කඩදාසිය දැකීමෙන් එය නැති වූ භාණ්ඩ පිලිබඳ විස්තරය වියහැකි බව ඉන්ස්පෙක්ටර් වරයාට සිතිනි.

"ඉන්ස්පෙක්ටර්, නැති වෙලා තියෙන්නේ බඩු කිහිපයක් උනාට ඔක්කොම බොහොම වටිනා දේවල්. රන් කඩු දෙකක්, මැණික් ඔබ්බපු ඔටුන්නක්, රත්තරන් කාසි එකසිය දොළහක් තව බොහොම වටිනා මැණික් ගල් දහහතරක් නැතිවෙලා තියනවා. ඔක්කොම විස්තර මේ කොලේ තියනවා"

"ස්තුතියි මහත්මයා..... මට තව ටිකක් මේ මුර කාරයා ගැන විස්තර කියන්න පුලුවන්ද?"  ඉන්ස්පෙක්ටර් වරයා එසේ ඇසුවේ තමන් වෙත දිගුකල කඩදාසිය  දිගහැර එය කියවමිණි.

"සේරම් කියන්නේ කියන්න තරම් වරදක් නැති මනුස්සයෙක්, මගේ යාලුවෙක් ගේ රෙකමදාරුවකට තමයි මම මිනිහව ගත්තේ. කටුගෙට ටික ටික වටිනා දේවල් එකතු වෙද්දී මට හිතුනා රෑටවත් මුරකාරයෙක් හිටියොත් හොඳයි කියලා ඉතින් අපි ආණ්ඩුවෙන් අවසර අරන් කෙනෙක්ව ගත්තා...... මිනිහට පඩි ගෙව්වෙත් කටුගෙයි ආදායම් වලින්. දැන් අවුරුදු අටක් තිස්සේ මිනිහා මෙතැන ඉන්නවා. කසාදයක් කරගෙන තිබුනත් ටික කාලෙකින් මිනිහගේ පවුල මැරිලා තියනවා....., හලාවත පැත්තේ අම්මයි තව සහෝදරයෙකුයි ඉන්නවා කියලා මට කියලා තිබුණා."

"හොඳයි එතකොට මිනිහා වැඩ පටන් ගන්නේ කීයටද?"

"රෑ නවයට වැඩ පටන් අරන් උදේ හයට ඉවර වෙනවා. ඒ උනත් මිනිහා ගෙදර යන්නේ දවල් වෙලා. උදේ වරුවම මේක ඇතුලේ හරි එළියේ හරි මොන මොනවහරි තියන වැඩපල කරනවා. ඔය වටේම තියන මල් ගස් වලට වැඩිපුරම සාත්තු සප්පායම් කරන්නේ මිනිහා තමයි. ඇතුලේ වැඩ වලටත් මිනිහා උදව් වෙනවා.........."

"ඔබතුමා දැක්කද අර මල් පඳුර ළඟ තියන අත් කරත්තේ...... ඒක කාගේද?"

ඉන්ස්පෙක්ටර් වරයා විසින් එසේ අසන ලදුව කටුගෙයි ප්‍රධානියා විසින් එහිගොස් අත් කරත්තය පරික්ෂා කරන ලදී. එහෙත් ඒ පිලිබඳ ඔහු කිසිත් නොදන්නා බැව් දක්නට ලැබිණි.

"එතකොට සේරම් ගේ ඇඟිල්ල කපලා තියන එක ගැන මොනවහරි ඔබතුමාට කියන්න පුලුවන්ද?"

"අහ් ඔව්. ඔව්. මිනිහගේ අතේ මුද්දක් තිබ්බා.... මට මතකයි අපේ ඔෆිස් එකේ කට්ටිය මිනිහට විහිලු කරනවා..... පව්ලකුත් නැති එකේ ඔය මුද්ද ගලවලා දානවකෝ සේරම් කියලා......"

"මිනිහා ඒ වෙලාවට කිව්වේ.....මගේ ගෑනි මතක් වෙන්න මෙච්චරයි තියෙන්නේ......මේකනම් මම කවදාවත් ගලවන්නේ නෑ කියලා. මුද්ද ගලවන්න තියා වෙන ඇඟිල්ලකට මාරු කරන්නත් මිනිහා කවදාවත් කැමති උනේ නැහැ. අපේ ඔෆිස් එකේ කට්ටිය ගෙන් අහලා බලන්නකෝ තව විස්තර කියාවි. මේ කාලකන්නි, මුද්දක් ගන්න ඇඟිල්ලත් කපලා නේද ඉන්ස්පෙක්ටර්?"

"ඔව් ඒ වගේ..... අපි එහෙනම් යනවා ආයෙත් ඕනේ උනොත් කතා කරන්නම්" කියූ ඉන්ස්පෙක්ටර් වරයා ආපසු එන්නට හැරිණි.

පොලිස් පරීක්ෂකවරයාගේ ඉල්ලීම අනුව ජීප් රථය ජාවත්තේ පිහිටි මුරකරුගේ නවාතැන වෙත ගමන් කරනු ලැබිණි.

"සර් මේ වත්තේ තමයි මිනිහා ඉඳලා තියෙන්නේ...."

කොලුගැටයෙකුගේ මඟ පෙන්වීම අනුව ඔවුන් නතරවුයේ ස්ථුල තලතුනා ස්ත්‍රියකගේ නිවසක් ඉදිරිපිටය.

"අර සේරම් කියන මුරකාරයා හිටියේ මෙහේද?අන්තිමට මෙහෙට ආවේ ගියේ කව්ද?"

"ඔව් මහත්තයෝ ඔය එළියේ තියන කාමරේ තමයි හිටියේ.....දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ...... ඊයේ රෑ වැඩටයන්න ලේස්ති වෙලා මට කතා කරලා කිව්වා, කාමරේට වෙන කෙනෙක් හොයාගන්ට, අයෙත් එයැයි එන්නේ නැහැ කියලා....... ගණුදෙනු ඔක්කොම බේරලා පාරට ගිහින් කරත්තයක් හොයාගෙන ඇවිත් බඩුත් දාගෙන යන්න ගියා.........."
"ඊයේ හවස් වෙලා එයැයි ගේ නෑ වෙන කෙනෙක් ආවා කියලා අපේ පොඩි එකා කිව්වා.....ඌ කාමරේ දොර ඇරලා දුන්නා කිව්වා මුර උන්නැහැ එනකල්. වත්තේ හැමෝම එක්ක හොඳට හිටියා..... ගෙදරට නම් විසේස කව්රුත් ආවේ ගියේ නැහැ."

ඉන්ස්පෙක්ටර් වරයාගේ ඉල්ලීම අනුව කාමරය විවුර්ථ කරන ලද අතර අඩි දහය, හය ප්‍රමාණයේ කුඩා ලෑලි කාමරයක් වූ එහි කොනක අකිලූ බූරු ඇඳක් දක්නට ලැබිණි. සරසවිය පුවත් පතේ හා දකුණු ඉන්දීය දෙමළ පුවත්පත් කිහිපයක පලවූ නළුනිළියන් රාශියකගේ පින්තුර වලින් ලෑලි බිත්ති සරසා තිබිණි. පොලිස් පරීක්ෂකයා විසින් කාමරය පරික්ෂා කරන ලද අතර වැදගත් යමක් එහි නැතිබව ඔහුට හැඟිනි. තමන් නැවත දැනුම් දෙනතුරු කාමරය විවුර්ථ නොකරන ලෙස අණ කල ඔහු ආපසු එන්නට පිටත් විය.

පසු දින දහවල වනවිට මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ හා ඇඟිලි සලකුණු වාර්තා තුනම පොලිස් පරීක්ෂක වරයා අතට පත්විය.

"හෙලොව්....... ඩොක්ටර් විජේදාස, ඉන්ස්පෙක්ටර් දිසානායක හියර්............"

"අහ්,ඉන්ස්පෙක්ටර්..... මම හිතුවා ඔබතුමා රිපෝර්ට් එක දැක්කම අනිවාර්යයෙන් මට කතා කරාවි කියලා........"

"ඔව් ඩොක්ටර්, එතකොට ඩොක්ටර් කියන්නේ මේ මිනිහා මැරිලා තියෙන්නේ වෙඩි පාරෙන් නෙවෙයි කියලද?"

"කොහෙත්ම නැහැ, ඉන්ස්පෙක්ටර් කිව්වා නේද වෙඩි තියලා තියෙන්නේ ඊයේ පාන්දර කියලා.......... හැබැයි මිනිහා මැරිලා නම් තියෙන්නේ ඊට පැය හතර පහකට කලින්."

"හෝ හෝ......... ඒකයි එතන එච්චර ලේ තිබුනේ නැත්තේ..... මම හිතුවා හරි. එතකොට මරණෙට හේතුව?"

"ඒක සියයට සීයක් හරියටම කියන්න බැහැ. නමුත් මම සැක කරන්නේ හාර්ට් ඇටැක් එකක් කියලා............ වෙඩි පාරවල් නිසා හාර්ට් එක විනාසවෙලා.......හොයන්න අමාරුයි"

රස පරීක්ෂක හා ඇඟිලි සලකුණු වාර්තාත් පිරික්සූ ඉන්ස්පෙක්ටර් වරයාගේ මුහුණෙහි සිනා රැල්ලක් ඇඳිනි.

"හේරත්, දැක්කද ඇඟිලි සලකුණු වාර්තාව? එකේ විදිහට මැරිච්ච මිනිහගේ ඇඟිලි සලකුණු එක්ක කටුගෙයි ඇතුලේ තියෙන එක ඇඟිලි සලකුණක්වත් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම පිස්තෝලෙත් මිනිහගේ සලකුණු නැහැ"
"මතකද කටුගේ ලොක්කා කිව්වා මේ මිනිහා කටුගේ ඇතුලේ වැඩපල කරනවා කියලා? ඉතින් ඇයි එක සලකුණක්වත් නැත්තේ? තව මතකද අර අල්ලපු මදාවියෝ දෙන්නා කිව්වා පිස්තෝලේ මේ මිනිහට දුන්නේ කලින් දවසක කියලත්, ඉතින් කෝ ඒකෙත් සලකුණු?"

"සර්, ඇඟිලි සලකුණු මැකුවා වෙන්න බැරිද?"

"නැහැ අයිසේ, මම දැන් දන්නවා වෙලා තියන දේ හැම දේම ලස්සනට පිළිවෙලට ගැලපෙනවා........... මූ නම් නියම බඩුවක්. මේ මැරිලා ඉන්නේ සේරම් නෙවෙයි!!!!!!!."

"මොනවා සර්............. සේරම් නෙවෙයි?"

"මිනිහා වගේ උනාට වෙන කෙනෙක්. වහාම හොයලා බලනවා මිනිහගේ සහෝදරයා ගැන. මට හිතෙන්නේ මේ මැරිලා ඉන්නේ සේරම්ගේ සහෝදරයා........."

"මේක වරදින්න විදිහක් නැහැ සිද්ධිය මෙහෙමයි වෙලා තියෙන්නේ......"

"අර මිනිස්සු දෙන්නත් එක්ක එකතුවෙලා සේරම් ප්ලෑන් කරනවා කටුගේ හොරකම කරන්න. හදිස්සියක් උනොත් කියලා කලින් දවසේ පිස්තෝලෙකුත් ඉල්ලගන්නවා.....හරියටම එදා හවස සේරම්ගේ සහෝදරයා එහෙම නැත්නම් මේ මැරුණ මිනිහ එනවා සේරම් හම්බවෙන්න. අර ගෙදර අයිති ගෑනි කිව්වේ කෙනෙක් ආවා කියලා......."

"සේරම් එක්ක ඉද්දි මේ ආව මිනිහා මැරෙනවා මොකක් හරි හේතුවකට.... මට හිතෙන්නේ මෙතන මිනී මැරුමක් සිද්දවෙලා නැහැ. අපි තව හොයලා බලමු. හදිසියේ ආව මිනිහා මරුන නිසා ඔක්කොම වැඩ අවුල් වෙනබව සේරම්ට තේරෙනවා.........හැබැයි මැරුණ මිනිහා තමන්ට සමාන නිසා.... සේරම් ගහනවා අලුත් ප්ලෑන් එකක්."

"මිනිහා කරත්තේ දාගෙන මිනිය අරන් යනවා කටුගෙට, ගිහින් තමන්ගේ ඇඳුම් අන්දලා අගුල් කඩලා හොරකම කරනවා............. හරියටම පාන්දර දෙකට විතර පපුවට වෙඩි දෙකක් තියනවා..... දෙකට අනිත් දෙන්නා එන බව දන්නවා. උන් දෙන්නා මේකට අහුකරන්න හිතලා තමයි එහෙම කරන්නේ. මතකද වෙඩි සද්දෙට පස්සේ මල්ලක් උස්සගෙන මිනිහෙක් එලියට ගියා කියලා යෝගේන්ද්‍ර මුදලාලි කිව්වා...... හැබැයි එලියට ගිහින් හැංගිලා ඉඳල අරුන් දෙන්නා ආවට පස්සේ කාර් එකේ පිස්තොලේ හංගලා පැනලා යනවා."

"එතකොට සර් ඇඟිල්ලට මොකද උනේ?"

"අන්න හරි සේරම්ගේ අතේ මුද්දක් තිබ්බා කිව්වා නේද? මිනිහගේ පිටට පෙනෙන ලකුණු ඔක්කොම සමානයි මැරිච්ච මිනිහත් එක්ක, ඔය මුද්ද තියන ඇඟිල්ල හැර. අනිවාර්යයෙන්ම ඔය මුද්ද දැන් ගලවන්න බැරි විදිහට හිරවෙලා ඇති. ගලවන්න පුළුවන් උනානම් මිනිහ මුද්ද මැරිච්ච මිනිහගේ ඇඟිල්ලට දාලා යනවා.......... ගලවන්න බැරිනිසා මලමිනියේ ඇඟිල්ල කපලා දානවා එතකොට දකින කෙනෙක්ට හිතෙන්නේ මේ සේරම්ම තමයි. මුද්ද ගන්න ඇඟිල්ල කපලා කියලා. අපිත් මුලින්ම හිතුවේ එහෙමනේ "

"මැරිලා ඉන්නේ වෙන කෙනෙක් හින්දයි ඒ මිනිහගේ ඇඟිලි සලකුණු කටුගෙයි නැත්තේ..... ඒ වගේම පිස්තෝලෙත් නැත්තේ. හැබැයි සේරම් අල්ලා ගත්තොත් අපිට බලාගන්න පුළුවන් මිනිහගේ ඇඟිලි සලකුණු කටුගෙයි තියන ඒවාටයි පිස්තෝලේ තියන ඒවාටයි ගැලපෙන හැටි."

දින කිහිපයකට පසු සේරම් හෙවත් කටුගෙයි හිටපු මුරකරු අත් අඩංගුවට පත් වූ අතර. ඔහු කල පාපොච්චාරණය අනුව පොලිස් පරීක්ෂකවරයාගේ අනුමාන කිරීම් සියයට සියයක් නිවැරදි බැව් පෙනිණි. තමන් බැලීමට පැමිණි තම නිවුන් සොහොයුරා තම කාමරය තුලදී කිසියම් හේතුවකට මියගොස් සිටි අතර එය හෘධ්‍යාබාධයක් යයි සිතූ නිසා එය හඳුනාගත නොහැකි වන ලෙස හදවතට වෙඩි දෙකක් තැබූ බව ඔහු පාපොච්චාරණය කලේය.


පින්තුරේ google බාප්පා ගෙන්

Friday 4 September 2015

හඳ ලකුණු කිරීම




හැමෝම ඉස්කෝලේ කාලේ ගැන ලියන හින්දා බණ්ඩටත් හිතුනා ඒ ගැන ලියන්න. ඉතින් බණ්ඩාගේ පොඩිකාලෙන්ම පටන් ගත්තා..........

එතකොට අපි හතරේ පන්තියේ හිටියේ. අපිට විද්‍යාව උගන්නන්න හිටියේ සිරිසේන කියලා සර් කෙනෙක්. නෑ............................ පොළොන්නරුවේ එක්කෙනා නෙවෙයි.

ඉතින් පොඩි උනාට අපිට මේ සර් ගේ මොකක්දෝ වෙනසක් පෙනුනා........... පොඩි පිස්සු ගතියක් වගේ..... සර්ට උගත් පිස්සුව හැදිලා දැන් හොඳවෙලා කියලා කව්ද නරුමයෙක් කිව්වා. විද්‍යාව විෂයට අපිට පොත් තුනක් අරගන්න නියම කරලා තිබ්බා.

එක පොතක් සාමාන්‍ය වැඩ වලට, අනික හඳ ලකුණු කිරීමට. දැන් කට්ටියට හිතෙනවා ඇති සර් අප්සෙට් තමයි කියලා............ ඔබ නිවැරදියි පින්වතුනි ඔබ නිවැරදියි. ඒ පොතේ අපි හැමදාම රෑට හඳ බලලා හඳ පෙනෙන විදිහ ශත විසිපහේ කාසියකින් රවුමක් ඇඳලා පාට කරගෙන එන්න ඕනේ. හිතපල්ලකෝ අවුරුද්දක් තිස්සේ දිනපතා මේක කලා කිව්වම. සර්රුත් දිනපතා පොත බලලා වැඩේ කරපු නැති උන්ට තැලුවා. බණ්ඩාගේ චුටි මොලේට තවම හිතාගන්න බැහැ මෙතන තිබ්බ විද්‍යාව කියලා..............ඇයි යකෝ අවුරුද්දක්ම කරන්න. දන්නා තරමින් එකෙක් වත් අජටාකාශ ගාමියෝ උනේ නම් නැහැ.

අහ් තුන් වෙනි පොත.............. තව ටිකෙන් අමතක වෙනවා........... ඒකේ නම හොඳ වැඩ පොත. හැමදාම කරපු හොඳ වැඩ ඒකේ ලියන්න ඕනේ නැත්නම් ගුටි. ඒකෙත් විද්‍යාවට තිබුන සම්බන්ධෙ හිතාගන්න බැහැ. ගුටි කෑවොත් වෛද්ය විද්‍යාවේ පිහිට පතන්න වෙන නිසා අපිත් ඔය පොතේ මොන මොනා හරි ලිව්වා............
ඉතින් සමහර වෙලාවට බණ්ඩා ඕකේ ලිව්වේ...... අද මම බල්ලා නෑව්වා, බල්ලාට කන්න දුන්නා, බත් කාලා පිඟාන හේදුවා, තේ බීලා කෝප්පේ හේදුවා.......... වගේ දේවල්. ලියන්නම දෙයක් නැති සමහර දවස් වලට සර් ලඟට පොත අරන් ගිහින් "කලින් කරපු හොඳ වැඩම තමයි සර් ඊයෙත් කලේ" කියලා බණ්ඩා කියනවා. ඒක අහලා මල පැන්නත් බණ්ඩාගේ මූන බැලුවම පෙනෙන්නේ "ඇයි කරපු හොඳ වැඩ ආයෙත් කරන්න බැරිද" වගේ එකක් හින්දා බණ්ඩා ගුටි නොකා බේරෙනවා.............. ඇයි යකෝ අවුරුද්දක් පුරා ලියන්න ඔච්චර හොඳ වැඩ කොහෙද තියෙන්නේ.............

බණ්ඩාගේ ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉඳල ඔෆිස් එකට මීටර් දෙසීයක් විතර තිබ්බා......... ඔව් මහා විශාල ඉස්කෝලයක් තමයි. සමහරු ඉස්කෝලේ ආවේ බයිසිකල් වල හැබැයි ගේට්ටුවෙන් ඇතුළුවෙනකොට බයිසිකලෙන් බැහැලා එතන ඉඳලා තල්ලුකරන් යන්න ඕනේ. ඇතුලේ පැදගෙන යාම තහනම්. හැබැයි ගුරුවරුන්ට ඔය නීතිය නැහැ. එයාලා ඔෆිස් එක ගාවටම බයිසිකලේ පැදගෙන යනවා. අපේ සිරිසේන සර් ටත් තිබ්බා බයිසිකලයක්. බයිසිකලේ පිටිපස්සේ හයි කරපු යකඩ දැල් පෙට්ටියක තමයි සර් ගේ බෑග් එක දාගෙන ආවේ. ඉතින් ගොඩක් දවසට ගේට්ටුව ගාව ඉඳලා ඔෆිස් එක ලඟට යනකොට නරුම කොල්ලෝ කරන්නේ වටේ තියන පොල් ඇට්ටි, ටින් බෙලෙක්ක, කඩදාසි, පත්තර කෑලි ඔක්කොම පුරවන එක සර් ගේ පෙට්ටියට. අන්තිමට බැරිමතැන පෙට්ටිය ඉස්සරහින් හයි කරගත්තා.............

හැබැයි සර්ට අප්සෙට් ගතියක් තිබ්බට අපිට හොඳට ඉගැන්නුවා........ගුටි දිදී උනත්.


ජායාරුපය google බාප්පාගෙනි

Wednesday 2 September 2015

මිනී මරනවෝ.....






මේක ටිකක් කක්කි කතාවක්. උගත් ප්‍රභුද්ධ ප්‍රේක්ෂක ජනතාව මට කමා කරන සේක්වා..........................

බණ්ඩා මේක කලින් ලිව්වා අන්තිම පේලියේ..... (thelastrow) ඒ මගුලට මොනවා උනාද මන්දා site එක ඩවුන්. ඉතින් අපි ලියපුවා එහෙම නැති බංගස්තාන වෙන්න දෙන්න බැරි හින්දා අලුත් පරම්පරාව වෙනුවෙන් මේවා ආරක්ෂා කොරන්න ඕනේ හින්දා අයෙත් ලියන්න හිතුවා. 

මෙන්න මේකයි කතාව..................

ඔන්න එකෝමත් එක රටක ලංකාවේ බොහොම ලැජ්ජා බයට හැදුන ගමේ කෙල්ලෙක් හිටියලු. අපි ඒකිට සිරිමලී කියමු. මුළු පවුලටම හිටියේ සිරිමලීයි අම්මයි අප්පයි විතරයි. ඉතින් කාටත් නොදැනීම කාලේ ගතවෙලා සිරිමලී කෙල්ලත් දීග දෙන කළ වයසත් ආවලු.

ඉස්සර දැන් වගේ නෙවෙයි කෙල්ල ගෙටවෙලා අවුරුද්දෙන් දෙකෙන් කව්රුහරි හොඳ ගොබිලෙක් හොයල බන්දලා දෙනවලු. ඉතින් ගමරාලත් හොඳ ඉලන්දාරියෙක් හොයලා මඟුල සූජානම් කලාලු. ගමරාලටත් වෙන කව්රුත් නැති හින්දා බින්න බස්සගන්නම පුළුවන් එකෙක් ලු හොයා ගත්තේ.

අර කලින් කිව්වනේ කෙල්ල කිසිම සමාජ ආස්සරයක් නැතිව ලජ්ජා බයට හැදුනා කියලා....... ඉතින් කෙල්ලට හරී බයයි ලු කසාද බඳින්නයි වෙන මිනිහෙක් එක්ක ඉන්නයි...... ඉතින් ගම හාමිනේගේ වැඩේම මගුලට දවස් කීපයක් තියලා කෙල්ලට අරවා මේවා කියලා දෙන එකලු........ ඔව්.... ඔව්  අරක කොරන හැටිත් කියලා දුන්නා තමයි...........ඉතින් ගම හමිනෙත් උදාහරනෙට එක එක දේවල් අරන් ඒක කියලා දෙනවලු. ඕන් ඉන්ටනෙට්, පේස් බුක් නැතිකමේ අඩුව නේද?

ඉතින් අම්මගේ උදාහරනෙට ගත්ත දේවල් දැකල (ඕන එකක් හිතා ගනිල්ලා) කෙල්ලට තවත් බයයි ලූ. 

"අනේ මගේ අම්මා රිදෙයි නේ........... මට"  කෙල්ල කියනවලු.

ඕක මේ ලෝකේ උඹ විතරක් කොරන්න යන දෙයක් නෙවෙයි ය. ඕකට බය වෙන්න දෙයක් නැති ය කියලා ගම හාමිනේ කෙල්ල සනසනවා.

කොහොමින් කොහොම හරි මඟුල් දවසත් ආවා.......... මඟුලේ කටයුතු හොඳින් කෙරුණා. නෑදෑයෝ එකා දෙන්නා පිටවෙලා ගියා...... අර ගොබිලා එක්ක කාමරේට ගියාම මොනවා වේවිද කියලා හිතපු සිරිමලී බයේ ගැහෙනවා. මේක දැකපු ගමරාලයි ගම හාමිනෙයි කෙල්ලව පැත්තකට අරන් සනසනවා.

ඔය අතරේ ගම හාමිනේට අපූරු නුවණක් පහල උනා. ඉතින් ගමහාමිනේ කෙල්ලට මෙහෙම කිව්වා.

"කෙල්ලේ උඹ බයවෙන්න එපා........ මමයි අප්පුච්චයි අල්ලපු කාමරේ ඉන්නවා..... මොනවා හරි අමාරුවක් කරදරයක් උනොත් උඹ මිනීමරනවෝ කියලා කෑ ගහපන් එතකොට අපි දුවලා එන්නම්" කියලා.....

කරදරයක් උනොත් අම්මලා ඉන්නවනේ කියලා කෙල්ලත් බයෙන් උනත් හා කීවා.......

ඔන්න ඉතින් රෑ බෝ වෙලා අලුත් ජෝඩුව පැණි හඳ කොරන්න කියලා කාමරේට වැදුනලු. ගමරාලයි ගමහාමිනෙයි අනිත් කාමරේ ට රිංගා ගත්තලු.

අලුත් බෑනත් ඉතින් වැඩ අල්ලන්න ලෑස්ති උනාලු. වැඩේ පටන් ගත්ත ගමන් කෙල්ල කෑ ගැහුවලු "මෙන්න මිනීමරනවෝ............" කියලා.

ගමහාමිනේ කෙල්ල බේරගන්න යන්න හැදුවත් ගමරාල තව පොඩ්ඩක් බලමු කියල නවත්ත ගත්තලු.

අම්මලා එන්නෙත් නෑ.............. අලුත් බෑනා වැඩේ නවත්තන්නෙත් නෑ............ වැඩේ නැගලා යනවලු.... කෙල්ල කෑ ගහනවලු මෙහෙම.

මිනීමරනවෝ..........මිනීමරනවෝ..........මිනීමරනවෝ......මරනවෝ......මරනවෝ......මරනවෝ......මරපිය, මරපිය, මරපිය, මරපිය, මරපිය යකෝ.....................කියලා..........  

(පින්තූරේ google බාප්පා ගෙන්)